Saturday, March 19, 2011

ඊයා....... මේ මොන ජරාවක්ද...........

ඡායාරූපය:- http://everysing.files.wordpress.com 
            ඊයා......... අනේ මේ මොන ජරාවක්ද....  අනේ........... ගලවන්නකෝ...................  ඒ ගයනිගේ කට හඬ. ගයනි හයියෙන් බෙරිහන් දෙනවා. ඒ මදිවට අඬනවා. 

      ඕක අපි කාටවත් එක පාරටම තේරුම් ගන්න බැරිව අපේ එවුනුත් එක එකාගෙ මූණ බලාගත්තා. 

       ගයනි කෑ ගහන කොට ඒකිගෙ පන්තියේ කොල්ලො ටික ලාවට හූවකුත් එක්ක මහ සද්දෙට හිනාවෙනවා.  :D ඒ මදිවට කෙල්ලො ටිකත් හක හක ගගා හිනා වෙනවා. 

      පොඩ්ඩක් ලඟට ගිහිල්ල බැලුවම තමයි වැඩේ තේරුණේ. ගයනිගේ ගවුමේ ලස්සන අක්ක කෙනෙක් තමන්ගෙ  සම්පත් බාගෙට පෙන්නන පින්තූරයක් තියෙන පත්තර කොල කෑල්ලක් එල්ලෙනවා. මේකි කෑ ගහන්නෙ ඒක ගලවගන්න බැරුව.

       කොල්ලො ටික ඒකෙන් පට්ට ආතල් එකක් ගන්නවා. ආයෙ මොකද උන්ටත් නියම චාන්ස් එක. හූ කියනව හිනාවෙනව එක විකාරයයි. කොහොමටත් ගයනි කියන්නෙ මහ එක ජාතියෙ බඩ්ඩක් නිසා හුඟක් වෙලා යනකම් ඒක ගලවන්න කවුරැත් ඉදිරිපත් වුනේ නං නෑ. 

අන්තිමට ඒක ගලවන්න උදව් කරන්ක කෙල්ලෙක් දෙන්නෙක් ආවත් උන්ටත් ගලවන් බැරි වුනා. ඒක අලවල තිබුනෙ චුයිංගම් එකකින්. අන්තිමට කොහෙන්දෝ වෙන ගවුමක් ඇඳගන්න ගයනිට සිද්ද වුනා.  :D 
(පස්සෙ ආරංචි වුනේ මේක ඒකිගෙ පන්තියෙම කෙල්ලො සෙට් එකක් දීපු ගේමක් කියලා. ඔන්න කෙල්ලො)

ඔය, චුයිංගම් එහෙමත් නැත්තං බබල්ගම් ගැන මගේ පාසල් වියේදි මට ලැබුණු අත්දැකීමක්.  බබල්ගම් එහෙමත් නැත්තං චුයිංගම් ලෙස හදුන්වබ මෙම සුවිශේෂ දෙය ඔබත් අනිවාර්යවෙන්ම රස බලා ඇති.

චුයිංගම් නිපදවන්නේ latex වැනි රබර් මිශ්‍රණයක් විශේෂ රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර නියමිත තත්ව පාලනය යටතේ ඒවාට අවශ්‍ය පරිදි වර්ණක සහ රසකාරක යෙදීමෙන්. මෙසේ විවිධ සමාගම් වලින් නිපදවල පසුව විවිධ ඇසුරුම් කොට වෙළඳපලට යැවෙනවා. කුඩා දරැවන් පමණක් නොව බොහෝ තරුණ තරුණියන් මෙන්ම ඇතැම් වැඩිහිටියන් පවා මෙම චුයිංගම් වලට ඇබ්බැහි වී සිටිනවා. විවිධ රසයෙන් පාටින් මෙන්ම විවිධ හැඩයෙන් යුතු චුයිංගම් ලොව පුරා මිලදී ගැනීමට තිබෙනවා. චුයිංගම් පිලිබඳව අන්තර්ජාතික  ආයතනයක් පවා තිබෙනවා. ඩුයිංගම් ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්නකො.

ලොව මෙතෙක් අලවි වී ඇති වටිනාකමින් වැඩිම චුයිංගම් එක ඩොලර් 14000 පමණ වු අතර එම මිල එයට ලැබී තිබෙන්නෙ වෙන්දේසියකදී. චුයිංගම් හපමින් ඒවා දිවේ ආධාරයෙන් පිම්බීමක් ඇතැමුනගේ විනෝදාංශයක්. එමෙන්ම මේ සම්බන්ධ තරඟ පවා ඇතැම් රට වල පැවැත්වෙනවා. වාර්තාවල සඳහන් ආකාරයට චුයිංගම් සඳහා වසර පන්දාහාකට එහා අතී සාක්ෂි හමුවෙනවා. එමෙන්ම ඇමරිකාව ආදී රටවල් තම හමුදා වල සෙබලුන් සඳහා චුයිංගම් ලබා දෙන්නේ එය මානසික ආතතිය ආදී යුධ බිමේදි ඔවුන් මුහුනදෙන ගැටලු සදහා ‍ඉන් යම් සහනයන් ලැබෙන බව සලකන නිසයි.

කෙසේ වුවත් ශරීර සෞඛ්‍යය කෙරෙහිනම් මින් යහපතක් සිදුවන්නෙ නෑ. එයට හේතුව මේවා නිපදවීමේදී යොදාගන්නා ඇතැම් රසායන ද්‍රව්‍ය මිනිස් ශරිරයට 100%ම හිතකර ඒවා නොවිමයි. ඒමගින් ඔබේ වටිනා දත් දෙපල දිරායාමටත් ඒවා අවපැහැ ගැන්වීමටත් ලක් වෙන්න පුලුවන්. එමෙන්ම වැඩිකාලයක් එකම චුයිංගම් එක  මුව තුල රුවාගෙන හපනවිට ඛේටය සමග මේවායේ සංඝටක විසින් සාදනු ලබන විවිධ කොටස් ‍ෙඔබගේ ආහාර මාර්ගයට ඇතුලු වීමේන් ආහාර මාර්ගයේ විවිධ සංකූලතා ඇති වන්නටත් පුලුවන්. එසේම මෙම චුයිංගම් කොටස් දත් අතර රැඳිමෙන් ඔබගේ දන්ත සෞඛ්‍යයට ඔබ නොදැනුවත්වම හානි සිදු වෙන්නට පුලුවන්.

ඒ සෞඛ්‍ය ගැටලු. එමෙන්ම චුයිංගම් නිසා ඇතිවන සමාජ ගැටලුත් තිබෙනවා. චුයිංගම් කන අය මෙන්ම නොකන අයටත් මෙය මහත් ගැටලුවක්. හපා ඉවත ලන හපය මහ පාරවල් වල ඉවත දැමුවිට ඉන් අන් අයට වන්නේ මහා කරදරයක්. බස්රථ, සිනමා ශාලා, පුස්තකාල හා පන්තිකාමර ආදියේ ආසක වල සහ ඩෙස් පුටු වල ඇතැම් පිරිස් විසින් නොදැනුවත්ව හා දැනුවත්වත් මෙම හපා ඉතිරි වූ හපයන් අලවන අවස්ථා ඉතා සුලභයි. මෙයින් බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වෙනවා. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට ලොකයේ ඇතැම් රටවල් ප්‍රසිද්ධ ස්ථාන වල චුයිංගම් හැපීම පවා තහනම් කර තිබෙනවා. අනෙක් කාරනාවනම් ඇතැමුන් චුයිංගම් හපන ආකාරය පවා බලා සිටීමට අප්‍රසන්නයි. ඔබට නොතේරුණත් එවන් ක්‍රියාවන් ඔබගේ පෞර්ෂත්වයට කරන්නේ සුලුපටු බලපෑමක් නොවේ. ඔබත් ඉවක් බවක් නැතිව චුයිංගම් හපන්නෙක් නම් මේ පිලිබඳව තවත් වරක් සිතා බලන්න.

චුයිංගම් ගැන මතක් වුන පුංචි කතාවකින් මෙම ලිපිය අවසන් කරන්නම්.

චුයිංගම් ලංකාවට මුලින්ම ආපු කාලෙ දිනක් නගරබද තරුණ යුවතියක් වන ශීලා දොස්තර කෙනෙත් ගාවට ගියාලු. ටිකක් බටහිර පන්නෙට හැදුනු ශිලා නිතරම කතා කරේම සිංහල මිශ්‍ර ඉංග්‍රීසියෙන්.සෙනග වැඩි නිසා තමංගෙ වාරෙ එනතුරු මෙයාට පෝලිමේ බලා ඉන්නට වුනාලු.
 එහායින් වාඩි වෙලා හිටියෙ තරමක් ගම්බද ප්‍රදේශයකින් ආපු අම්ම කෙනෙකුයි පොඩි එකෙකුයිලු. සෙනග වැඩි තදබදේ නිසා පොඩි එකාට පොඩ්ඩක් මලලු. දන්නවනෙ ඔය පොඩිඋන්. මූ නලියන හින්දා ටික වේලාවකින් මේ පොඩි එකාව සුරතල් කරන්න පටන් ගත්ත ශිලා තමන්ගෙ බෑගයෙන් චුයිංගම් එකක් අරගෙන පොඩි එකාට දුන්නා. සතුටු සිතින් ඩුයිංගම් එක ගත් පොඩි එකා එය අම්මාට පෙන්වමින් එහෙ මෙහෙ හරවමින් සිටියා මිස එක මොකක්ද කියල දැනං හිටියේ නෑ. ගමේ අයට ඒව පුරුදු නැතුව ඇති. පොඩි එකා ලඟට ගත්තු ශිලා පොඩි එකාට චුයිංගම් එකේ කවරෙ ගලවල දුන්නලු. ඒ පාර මූ ඒක රබර් පට්ටෙ වගේ අදිනව මිසක් කන පාටක් පේනන නැති නිසා පොඩි එකාව වඩා ගත්තු ශීලා "නෝ නෝ පුතා චු.. චූ" කියා කිවුවලු. 
සෙනග අස්සේ හෙම්බත් වෙලා එපාවෙලා හිටපු ඇම්ඩන් පරම්පරාවෙ පොඩි එකා ශීලගෙ ඔඩොක්කුවෙ කරපු වැඩේ කියන්න ඕනෙ නෑනෙ. :D