Sunday, May 6, 2012

පඹහින්නෙන් බලංගොඩ හරහා රජවක ඔස්සේ කල්තොට දූවිලි ඇල්ල දක්වා...


ටික දවසකින් ආයෙ ආවා බ්ලොග් එක පැත්තේ. කට්ටියම වෙසක් සමරනවා ඇති නේද? අපිනම් වෙසක් බලන්න යන්නෙ අදතමා. කැම්පස් එකේ යාලුවො ටික අද එනවලු මේ පැත්තේ. අප්පා. ආවම ඉතින් කණක් ඇහිලා ඉන්න නැහැ. මොනව වුනත් ඉතින් උන් සෙට් එකත් එක්ක පිස්සු කෙලින්න තියෙන්නෙ තව මාස තුනයි. අපේ අන්තිම සෙමෙස්ටරේනෙ යන්නේ. 

කාලෙකින් අපි නඩේ පොඩ්ඩක් ඇවිදින්න ගියෙ නැති හන්දා අපි හිතුවා පහුගිය මැයි පලවෙනිදා නිවාඩු දවසේ කොහෙහරි ඇවිදින්න ඕන කියලා. මේ වෙනකොට වටපිටාවෙ හුඟක් තැන්වල ඇවිදලා තිබුනෙ අපි. දියලුම, බඹරකන්ද, සුරතලී ඇල්ල, ඇඩිෂම් බංගලාව වගේ සුන්දර තැන් ගොඩක් සබරගමු විදු බිමට ඉතා සමීපයෙන් පිහිටා තිබීම අපේ වාසියට හේතු වුණා. 

ඇවිදින්න අලුත් තැනක් හොය හොය ඉන්දෙද්දි තමයි ටාර් ගාලා මගෙ කම්පනාවට ආවේ යන්න මරු තැනක්. ගොඩක් දවස් ඉඳන් මෙතනට යන්න ඕනමයි කියලා අපේ උන්ට කිය කිය හිටියත් එක එකා පස්ස ගගහ හිටියා. කෝම හරි මේපාර නම් කට්ටිය කැමති වුනා. ඒ තමයි කල්තොට තියෙන දූවිලි ඇල්ල බලන්න යන්න.

කතාකරගත්ත විදියට උදේ 6.30ට පිටත්වෙමු කියලා ලෑස්තිවෙලා යාන්තම් 7.20 වගේ වෙද්දි කට්ටිය පඹහින්න හන්දියට එක්කහු කරගත්තා. එතනින් බලංගොඩට ඇවිල්ලා තමයි කල්තොටට යන්න තියෙන්නේ. පඹහින්න-බලංගොඩ කොටකොටා සර්විස් එකක නැගලා ඔන්න බලංගොඩට ආවා කියමුකෝ. කෙල්ලන්ට බඩගිනි වුනේ නැතැයි. උන් කන්න යන අතරේ මමයි අපේ තව එකෙකුයි ගියා බස් එක හොයන්න. වීරයො ටික වගේ ආවාට මොකද එතනට යන විදිහවත් දන්නෙ නැහැ. 

හරි. කල්තොට බස් එකක් තියෙනවා. කට්ටියට එතනට එක්කගෙන ආවත් හරි හිටගෙන යන්න බැහැ කියලා කෙල්ලො ඇතුලට පැනලා වාඩි වුණා. අපි ටික එලියට වෙලා කදයක් දාගෙන ඉන්දෙද්දි ඩැයිවර් අයියා ඒ පැත්තට ආපු හන්දා මම පොඩි කතාබහක් දාලා බැලුවා විස්තරයක් දැනගන්න.බහින තැනක්වත් දන්නේ නැහැනේ. අම්මට සිරි කිවුවලු. ඩැයිවර් අයියා දීපු උත්තරේට අපි උඩ විසි වුණානම් තාම පාවෙනවා. :D එයා කියන විදිහට දිය ඇල්ල බලන්න කල්තොට බස් එකේ ගිහිල්ලා බැහැලු. ඒකට යන්න ඕන වේලිඔය කියන බස් එකේලු. මල සේක කිවුවාලු. වේලිඔය බස් එකක් ගියේ මේ දැන්. ඊගාව එක තියෙන්නේ 9.45ටලු. 

මේ වෙද්දි වෙලාව 8.00ට විතර ඇති. ඉතින් ඩ්‍රැයිවර් අයියා අපිට වෙන විකල්පයක් දුන්නා. ඒ තමයි මේ බස් එකේ ගිහිල්ලා කල්තොටින් බැහැලා වේලිඔය-තැන්න පාරේ ආපහු එන බලංගොඩ බස් එකක ආපස්සට එන එක. එහෙම ඇවිල්ලා දිය ඇල්ල බලන්න බහින්න පුලුවන්. අපි ඒ විකල්පෙ තොරගත්තා.

මේ දකුණු පැත්තෙ ඉන්නෙ ඔයාලා දන්න කෙනෙක්
(ලාහිරු දහසක් දිලි දිලී ලියන ලහිරුවා. අපේ බැචෙක්)
මේ පෙර පුහුණු සැසියක්. බස්වල යද්දි පුංචි දරුවො නලව ගන්නේ මෙන්න මෙහෙමයි.
බස් එක බලංගොඩින් පිටත් වෙලා සෑහෙන දුරක් ගියාට පස්සේ අපි ගමන් කරමින් හිටියේ වඩනයෙන් විස්තර කරන්න බැරිතරම් ඉතා සුන්දර ප්‍රදේශයක් ඔස්සේ. ගිරි දුර්ග, කඳුබෑවුම්, වනරොදවල්, හේන් වගේ හැම දෙයක්ම මේ මාර්ගයේදී දැකගන්න පුලුවන් වුනා. ඒ වගේම සමනලවැව ව්‍යාපාරයේ විදුලි බලාගාරය (කපුගල) පිහිටා තිබෙන්නෙත් මේ පාරෙමයි. 


විසාල ගල් පර්වතයක් මැදින් තමයි පාර හදල තියෙන්නේ. මේ පාර
හදනවා අපේ රංගි අක්කට මතකයි කියනවනේ. 
කන්ද දිගේ පහලට බසින විට ඈත පෙනෙනයුරු
(සමනලවැව අධිආරක්ෂිත කලාපය පසුකරමින්)
සමනල වැවේ ඉඳන් බලාගාරයට ජලය ගෙන එන නලය.
මෙයින් ගෙන එන ජලයෙන් විදුලිය නිපදවීමෙන් පසුව
එම ජලය උඩවලවේ ජලාශයට වැටෙනවාලු...
මේ අනපේක්ෂිත ගමනෙදි අපිට තවත් සුන්දර ස්ථාන දෙකක් හමුවුනා. එයින් එකක් තමයි දුනුවිනි ඇල්ල හෙවත් දෙවෙනි ඇල්ල කියන අතිශයින් සුන්දර තවත් දිය ඇල්ලක්. ඒක අපි කලින් දැනගෙන හිටිය එකක් නෙම්. බස්රථය ගමන්කරන මාර්ගයට තරමක් දුරින් කඳුවැටියකින් පහලට රෑරා හැලෙන මේ දිය ඇල්ල ඉතා අලංකාරව ඈතට දිස්වුනා.
දුනුවිනි ඇල්ල
අනෙක් ස්ථානය තමයි බුදුගල පුරාණ විහාර සංකීර්ණය. එතන ඉතිහාසගත වැදගත් පුරාවිද්‍යා බිමක්. 
බුදුගල පුරාණ විහාරස්ථානය
අපිට වෙලාව සීමිත හන්දා මේ තැන් දෙකම බස් එකේ ගමන් කරන ගමන්ම දැකබලාගෙන සැනසෙන්න සිදු වුණා.

ඔන්න යාන්තම් අපි කල්තොටට ඇවිත් එතන පොඩ්ඩක් කැරකි කැරකි හිටියා. පොටෝමේනියාව හොඳකරගන්න පින්තූර ගනිමින් ඉන්නකොට අපිට යන්න බස් එකකුත් ආවා. 
කල්තොට ව්‍යාපාරය ගැන කල්තොට හන්දියෙ පිහිටවා තියෙන පුවරුව.
කල්තොට ව්‍යාපාරයේ ජල සැපයුම් මාර්ග..
ඒකෙ නැගල අපි දිය ඇල්ලට යන්න තියෙන පිවිසුමට ලඟාවුණා.
නම් ටිකයි බෝර්ඩ් එකයි නම් වරදින්නේ නැහැ :D
එතනට ආවට පස්සෙ තමයි දන්නේ. අම්මා ගහයි කිවුවලු. කිලෝමීටර් තුනක් විතර පයින් යන්න තියෙනවා කියලා කිවුව විතරයි කෙල්ලො ටික ඉන්න පැත්තෙන් ඥැස් බෑස් ගාලා සද්දයක් ආවා. 
සසර කලකිරිල වගේ හිටියට මෙයා හරි දස්සි.
එයා තමා මුලින්ම ගියේ!!
ගමනට සෙට් වෙච්ච කෝච්චියා ඇතුලු පිරිස
ටිකට් දෙනතුරු....
මේ ආච්චි අම්මා තමයි ටිකට් දෙන්නේ..
ඇත්තටම ඒ වෙලාවෙ තිබුණ අවු කට්ටෙ හැටියට ඒ වැඩේ එච්චර ලේසි එකකුත් නෙමෙයි තමා. කොම හරි අවුවෙ බඩගගා පැයකින් විතර දිය ඇල්ලට ලඟා වුනා.
කට්ට අව්වේ...
මගේ සූටිං...
මගේ සූටිං...
කට්ටිය මාව දාලා සෑහෙන දුරක් ගිහින්...
ඇල්ලට බහින පඩිපෙල...
හෙමින් හෙමින් පල්ලම බහිනවා..
දූවිලි ඇලි දැනට මම දන්න තරමින් දෙකක් තියෙනවා. එකක් මේක. අනික තමා නෙලුවෙ තියෙන දූවිලි ඇල්ල. තවත් ඇති. මම දැකල තියෙන දිය ඇලි අතර මේ කල්තොට දූවිලි ඇල්ල තරමක් සුවිශේෂියි. මේකෙ වතුර වැටෙන්නේ විශාල බේසමක් වගේ තැනකට. ඒ බේසමේ තියෙන පුංචි කපොල්ලකින් තමයි වතුට එලියට යන්නෙ. ඒ කපොල්ල වහගත්තනං ජලාශයක් හදතෑකි :P
ගමනාන්තය - දූවිලි ඇල්ල
ගෙනාපු කෑමජාති බීම ජාති වලට වග කිවුවට පස්සේ පින්තූර සෙල්ලම පටන්ගත්තා. ආහ්! නෑ නෑ ඒක පටන් අරන් තිබුනේ. ඒ අතරේ අපි කෑවා. 


එක එක අයට එක එක විදියේ පින්තූර ඕන වුනා. එක්කෙනෙක් ගත්ත ස්ටයිල් එකට තව එක්කෙනක්ට. අත් උස්සලා, බිම පෙරලිලා, වැල්ලවල එල්ලිලා..... අප්පා... එතන එකම විකාරයයි. :D වෙලාවට වෙන කවුරුත් හිටියේ නැහැ. හිටියේ නෑ නෙමේ හිටියා. කපල් එකක් හිටියා අපිට පිටිපස්සෙන් තිබුන ලැගුම් කුටියක. අපේ ආගමනයත් එක්ක උන්දලාගෙ වැඩසටහන නැවතුනා. :D
හිතා ගන්නකො එතන නටපු පිස්සුවෙ තරම.. :D
සේරම පිස්සු සෙල්ලම් ටික ඉවර වුනාට පස්සේ අපි එතනින් පිටත් වෙලා ගිහින් ඇල්ල මුදුනට පිවිසුනා. එතනට එන්න පුලුවන් පහසුවෙන්. හැබැයි ටිකක් ප්‍රවේසමෙන් ඉන්න වගබලාගන්න ඕන. පොඩ්ඩ බැරි වුනොත් කෙලින්ම දිවිය ලෝකේ. නාගෙනම යන්න පුලුවන්. :D


ඇල්ලට උඩින්...
මේ වෙද්දි කෙල්ලො ටික කෙඳිරි ගාන්න පටන් අරන් තිබුනේ. කිලෝමීටර් තුනක් විතර ආපහු පයින් යන්න බැරියෝ කිය කියා. දිය ඇල්ල ගාව ඉඳන් රථගාලට ඇවිල්ලා කට්ටිය දොයි. 
ඔය පේනවනේ මූනු වල හැටි. :D
ඇත්තටම ඒ අවුවේ ආපහු යන්න කියන එක ඒ හැටි ලේසි වැඩක් නෙමේ. වාසනාවට වගේ ඇල්ල බලන්න ආපු තව සහෝදරයෙකුට ස්තූතිවන්ත වෙන්න අපිට කරදරයක් නැතිව ආපහු හන්දියට එන්න පුලුවන් වුනා. අපේ කණ්ඩායම ඒ දුෂ්කර පාරේ ඔහුගෙ පුංචි වාහනයෙන් දෙවරකට ප්‍රවාහනය කරන්න තරම් ඔහු කාරුණික වුණා. ඒ සහයෝගය නොවන්න අපි තාම එනවා.

අන්තිමට තවත් සුන්දර මතකයන් ගොන්නක් හිතේ පුරවගෙන අපි ආපහු කැම්පස් එකට ලඟාවුණා.

(මේ බ්ලොග් පෝස්ට් එකේ ඇති සමහර කරුණු මැර තර්ජන හමුවේ වෙනස් විය හැකි බව සලකන්න)