Wednesday, February 20, 2013

මෝටර් සයිකල් සවාරි 02- කළුපහන බමරකන්ද මාර්ගයේ යක්ෂයාගේ පඩිපෙල, ඔහිය හරහා බණ්ඩාරවෙල දක්වා ත්‍රාසජනක ගමනක්.

සහභාගී වු පුද්ගලයන් ගනන  - දෙකයි 
වාහන                                    - යතුරුපැදි දෙකක් 
මාර්ගය                                  - හොරණ-කළුපහන-බමරකන්ද-ඔහිය-බොරලන්ද-දියතලාව-බණ්ඩාරවෙල 
දුර                                          - කිලෝමීටර 180ක් පමණ

සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳගන්න තිබෙන ස්ථාන බොහාමයක් අතුරෙන් තවත් එක් සුන්දර මාර්ගයක් වන්නේ ඉහත සඳහන් කල කලුපහන ඔහිය මාර්ගයයි. මේ පිළිබඳව මුල්ම ඔත්තුව ලැබෙන්නෙ නඩේගුරා අඩිවයෙන්. මේ අනුව සති කිහිපයක් තිස්සේ සැලසුම් කල මේ චාරිකාවට සහභාගි වන්නට සිටි දෙදෙනක්ම විවිධ හේතු නිසා සහභාගි වුයේ නැහැ. ඒ නිසා අවසානයේ ගමනට සිටියේ සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.

බෙලිහුල්ඔය-නන්පේරියල් මාර්ගයේ ගමනින් පසුව ආපසු එන ගමනේදී නොසිතූ පරිදි ඇදහැලෙන්නට ගත් වර්ෂාව නිසා මෙම ගමන පැවතියේ අනපේක්ෂිත තත්වයක. කෙසේවවුවත් දිවා ආහාරයෙන් පසුව මමත් මගේ ගමන් සගයා වූ එරංග අයියාත් තීරණය කලේ එන ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම්ව මෙම චාරිකාවද සිදුකිරීමටයි. ඒ වනවිටද වෙලාව පස්වරු 1 පසුවී තිබිණි. 

ඒ අනුව පඹහින්නෙන් පිටත් වූ යතුරුපැදි දෙක කළුපහනදී බමරකන්ද මාර්ගය දෙසට හරවනු ලැබිණී. නිවාඩු දිනයක් බැවින් විවිධාකාර රථවාහන කිහිපයක්ම බමරකන්ද දියඇල්ල වෙත ගමන්කර ආපසු එනු අපට හමුවිය. කිලෝමීටර හතරක් පමණ ගමන්කල පසු මාර්ගයට වැටී තිබූ පස්කන්දක් නිසා මාර්ගය සම්පූර්ණ මඩවගුරක්ව පැවතියද අප දෙදෙනා කිසිදු ගැටලුවකින් එතනින් එතෙර වුවද මාගේ යතුරුපැදියටනම් හොඳ මඩ සංග්‍රහයක් භුක්ති විදීමට අවස්ථාව ලැබිණි. අවසානයේ අප බමරකන්ද දිය ඇල්ල සමීපයට පැමිණ මදක් නැවතී සිටියෙමු. මෙයින් ඉදිරියට ඇත්තේ ත්‍රාසජනක ගමනකි. යායුතු මාර්ගය පිලිබඳ දල අදහසක් නඩේගුරා හි දිනේෂ් විසින් මාහට පවසා තිබුණද පැවති කාලගුණ තත්වය හමුවේ සිතේ යම් දෙගෙඩියාවක්ද නොතිබුණා නොවේ.


බමරකන්ද දියඇල්ල අසල මදක් නැවතී සිටියෙමු.
මිනිත්තු කිහිපයකින් අප දෙදෙනා මාර්ගයේ ඉදිරි කොටස වෙත යාමේ අවදානම් ගමනට අවතීර්ණ වී සිටියෙමු. ඒ එක් අතකින් වර්ෂාව කොයි මොහොතක හෝ අපට බාධාවක් විය හැකි අවදානමත් අනෙක් අතින් කඳුකරයේදි ඉක්මනින් අඳුර වැටීම නිසා ඇති වන අවදානමත් යන කාරණා දෙක සමගිනි. මේ වනවිය හාත්පස තද මීදුමක්ද පැතිරෙමින් පැවතිණි. තව මොහොතකින් මාර්ගය තද මීදුමින් වැසී යන බැව් අප දෙදෙනාටම පසක් විය.

අප ගමන් කල තාර යෙදු මාර්ගය අවසන් වීමත් සමග කොන්ක්‍රීට් යෙදූ මාර්ගයක් හමුවූ අතර කිසිදු කරදරයකින් තොරව ටිකදුරක් ගමන් කලද කොන්ක්‍රීට් අවසන් වූයේ සීග්‍ර නැග්මක් සහිත මඩ සහිත පාරකිනි. 

පිලිවෙලට ගල් අතුරා සකස් කර ඇති මාර්ගයක් හමු විය.
හාත්පස මීදුම පැතිරෙමින් පැවතින..
තැනින් තැන මාර්ගයට වැටී තිබූ පස් සහ ගල් ගොඩවල් නිසා ගමන ඉතා අසීරු විය. යතුරුපැදි පැදවීමේ ප්‍රවීණයකු නොවූ මා එම ලෙස්සන සුළු මාර්ගයේ ඉතාපරීක්ෂාකාරීව පැදවීමට වගබලාගත්සේ සුලු අතපසුවීමකින් හෝ ලෙස්සාගියහොත් සිදුවිය හැකි අනතුර ඉවෙන්මෙන් වැටහී ගිය බැවිනි.

වැස්ස නිසා මඩ වී ඇති මාර්ගයේ යතුරු පැදියක් පැදවීම ලෙහෙසි නැත.
මෙසේ කිලෝමීටර කිහිපයක් පමණ ගමන් කල අපි බමරකන්ද දියඇල්ලේ ඉහල මට්ටමට ලඟාවූයෙමු. ඒ වනවිට පැතිරෙමින් තිබූ මීදුම තරමක් අඩුවී තිබිම නිසා දියඇල්ලේ සුන්දරත්වන පැහැදිලිව දැකබල ගැනීමට අවස්ථාව ලැබිණි. මාර්ගයේ ඉහල කොටසට පැමීනීමෙන් පමණක් ලැබිය හැකි අත්දැකීමක් විඳගැනීමට ලැබීම භාග්‍යයකි.

බමරකන්ද දිය ඇල්ල සහ අපි පසුකරගෙන පැමිණි මාර්ගය
නුපුරුදු මග දිගේ
ඉදිරි මාර්ගය බෙහෙවින්ම දුෂ්කර වන හැඩයි..
දිය ඇල්ලෙහි ඉහලම කොටස
ස්වල්ප මොහොතක් එම ස්ථානයේ රැඳි 
ස්වල්ප මොහොතක් එම ස්ථානයේ රැඳි ඡායාරූප ගත් අප ඉක්මණින් එම ස්ථානය පසුකර ඉහලට ගමන් ඇරඹිමු. අවසානයේදි අප බලාපොරොත්තු වු අතිශය අවදානම් සහිත මාර්ගය අප හමුවේ විය. එහි තිබුනේ තැනින් තැන ගල්කුට්ටි ඉහලට මතුවී ඇති අතිශයින්ම අබලන් වූ නමට පමණක් මාර්ගයක් වූ අතිශය අසීරු කඩඉමකි. එය මාර්ගයකට වඩා සමාන කල හැක්කේ අපිලිවෙලට ගල් අතුරා සකස් කල ගල් පඩිපෙලකටය.

 සමාන කල හැක්කේ අපිලිවෙලට ගල් අතුරා සකස් කල ගල් පඩිපෙලකටය
මගේ හෝ එරංග අයියාගේ යතුරු පැදි මෙවන් මාර්ගයකට කිසිසේත්ම ගැලපෙන ඒවා නොවීය. ඇත්තෙන්ම අප මෙම ගමනේදි මෙවන් මාර්ගයක් හමුවේයැයි සිහිනෙන්වත් බලාපොරොත්තු නොවීමු. (කෙසේ වුවද මෙම මාර්ග වල සැබෑ තත්වය පෙන්නුම් කරන ඡායාරෑම කිසිවක් අප සතු නොවේ. මක් නිසාදයත් එවන් අවස්ථාවන් වලදී කෙසේ හෝ මාර්ගය තරණය කරනු විනා ඡායාරෑප ගැනීමට අපට අමතක විය.)

සීග්‍රනැග්මක් සහිත වූ එහි යතුරුපැදිය පැදවීම ඉතා ප්‍රවේශමින් කලයුතු විය. මක්නිසාද යත් ෆෝ වීල් රථ පමණක් ධාවනය කල හැකි මාර්ගයක් වූ එහි වර්ශාවෙන් තෙමීගත් ගල් පතුරු මතින් ලෙස්සීමක් සිදුවුවහොත් ඇතිවන ප්‍රතිඵලය විස්තර කල නොහැකි තරම් දුක්ඛදායක එකක් විය හැකි බැවිනි. මිනිත්තු දෙකක් යද්දි එරංග අයියා එම කොටස පසුකර සිටියේය. මාර්ගයේ අඩක් දුර යද්දි එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා මා බලවත් අසීරුතාවකට පත්වුවද කෙසේ හෝ නැවත පණගන්වාගෙන මාර්ගයේ ඉහල කොටස දක්වා පැමිණියෙමි.

තව මද දුරක් ගිය විට එම මාර්ගයේ පයින් පැමිණි විදේශිකයෙකු හමු වූ අතර ඔහු සුහද කතාබහක යෙදී සිට ටික වේලාවකින් අප ඔහුගෙන් සමුගෙන ඉදිරියට ගියෙමු. අපගේ මීලඟ නැවතුම වූයේ V cut නමින් හැඳින්වෙන ස්ථානයයි. 

අපගේ මීලඟ නැවතුම වූයේ V cut නමින් හැඳින්වෙන ස්ථානයයි
එම ස්ථානයේ සිට, බමරකන්ද දිය ඇල්ලට ජලය සපයන දිය මග දක්වා කොටස අපහසුවකින් තොරව යා හැකි විය.

බමරකන්ද දිය ඇල්ලට ජලය සපයන දිය මග අසලදී
එරංග අයියා යතුරු පැදිය එගොඩට ගෙනයමින්..
එම ස්ථානයේ සිට මදක් විවේක ගනිමින් සිටියදී ෆෝවීල් ජීප් රථයක් සහ ඩිපෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයට ලඟා වූ නිසා අප ඔවුන්ට ඉඩ දී එම ප්‍රදේශ පසුකර තවත් ඉදිරියට ගියෙමු.

මාර්ගයේ ඇතැම් කොටස් මෙසේ දිස්වුවද මේවා අතිශයින්ම වල ගොඩැලි සහිතය.
නැවතත් මීදුම පැතිරෙමින්...




තේ විරාමයක්..
ගමන්කල මාර්ගය පෙර පරිදිම අබලන් එකක් වූ නිසා බොහෝ දුරක් පලමු ගියරයේ ම යාමට සිදුවු අතර ගල් ගොඩවල් උඩින් යතුරුපැදිය පැදවීම මහත් වෙහෙසකාරී බවක් ඇතිකරන ලදී. අවාසනාවන්තම තත්වය වූයේ දැඩි මීදුම නිසා අවට සුන්දරත්වය විඳ ගැනීමට නොහැකි වීමයි. 

උඩවේරිය කොටසට පැමිණියෙමු. යක්ෂයාගේ පඩිපෙල ඇරඹෙන්නේ මෙම ස්ථානයෙනි.
කෙසේ හෝ අප යක්ෂයාගේ පඩිපෙල වෙත ලඟාවීමු. එවිට වෙලාව ප.ව 4.30 පමණ වන්නට ඇත. 

යක්ෂයාගේ පඩිපෙල තරණය කරමින්..
ක්‍රමක්‍රමයෙන් පරිසරය අඳුර විසින් ගිලගැනීම ඇරඹී තිබිණි. වැසි අඳුරත් මීදුමත් එයට මනා පිටිවහලක් විය. 

මීදුම මදක් ඈත්මෑත් වෙත්ම හාත්පස පෙනීගිය සුන්දරත්වයෙන් මත්ව මොහොකත් ගත කල අප අඳුර වැටීමේ අවදානම හමුවේ වුවද අතරමගදී හමුවන සුන්දර දර්ශන ඡායාරූපගත කරමින් ක්‍රමයෙන් ඉදිරියට ගමන් කලෙමු.

සුන්දර දිය ඇලි..
කුඩා තේ කම්හලක්. මෙතැන් සිට ඔහියට දුර කිලෝමීටර දහයකි.
බැරි බරත් ඔසවාගෙන ගැමියෝ පයින්ම මේ දුර තරණය කරති.
සුන්දර දිය ඇලි..
මිහිබට සුරපුරක් සේ දිස්වෙන මාර්ගය දෙපස වටපිටාව..
සුන්දර දිය ඇලි..
දෑස් මන්මත් කරන සුන්දර වටපිටාව...
අපේ ගමන් සහයිකාවෝ දෙදෙනා..
ඒ වන විට අප දෙදෙනාම ගමනේ විඩාවෙන් අතිශයින් හෙම්බත්ව සිටියෙමු. එනිසාම තව කොපමණ දුරක් ගමන් කල යුතුදැයි මගදී හමුවූ ගැමියකුයෙන් විමසා සිටියෙමු. ඔහුට අනුව අප ඔහිය දක්වා තවත් කිලෝමීටර් 10ක් පමණ යායුතුව තිබූ අතර මාර්ගයේ දුෂ්කර කොටස තවත් කිලෝමීටර දෙකක් පමණ ගියපසු අවසන් වන බව ඇසීම අපහට මහත් සැනසිල්ලක් විය. 

රලු මාර්ගයේ ගමනේ...

ඈතින් පෙනෙන්නේ බදුලු කොළඹ මහාමාර්ගයයි.

දැන් අත්හැර දමා ඇති උඩවේරිය තේ කර්මාන්ත ශාලාව
අවසානයේ අපි ඔහු පැවසූ අයුරින්ම නැවතත් තාර යොදා ක්‍රමිකව සැකසූ මාර්ගයකට අවතීර්ණ වීමු. මෙතෙක් එක සීරුවට පැමිණි යතුරුපැදි දෙක එතැන් සිට තරමක් වේගයෙන් ධාවනය හැකි විගසින් අපගේ ගමනාන්තයට ලඟාවීමේ බලාපොරොත්තුවෙනි. 

එහෙත් අපගේ බලාපොරොත්තු සුන් වූයේ ඔහිය දුම්රිය ස්ථානට ආසන්න වත්ම හාත්පස දැඩි මීදුමත් සමග පැතිරී ගිය අඳරෙන් ගිලගත් නිසාය. ඉදිරි මාර්ගයේ අඩි 15කට 20කට වඩා වැඩි දුරක් කිසිසේත්ම නොපෙනන තත්වයක වර්ෂාවද නොපැතූ බාධකයක් විය. යායුතු මාර්ගය පවා අප දෙදෙනාම හරිහැටි දැන නොසිටි අතර අප අවසානෙයේ ඔහිය - බොරලන්ද මාර්ගයට අවතීර්ණ වුයේ ක්ෂණික තීරණයක් අනුවය. 

මීදුම මැදින් ඔහියට..
දැඩි මීදුම සහිත මාර්ගයේ විදුලිපහන් දල්වා ධාවන කිරීම උගහට විය. එබැවින් මාගේ යතුරුපැදියේ විදුලිපහන නිවා දමා එරංග අයියාට පසුපසින් යතුරුපැදිය පැදවුයේ මාර්ගය දෙස නොව ඔහුගේ යතුරුපැදියේ පසුපස රතු ලාම්පුව දෙස බලාගෙනය. හාත්පස අඳුරත් මා සමග කිසිවකු නොසිටීමත් අවට අදුරු වනාන්තරයත් සිතට ඇති කලේ මෙතෙක් අත් නොවිඳි භයංකාර අත්දැකීමකි. නෙත් මානයේ දිස්වූ එකම සජීවී වස්තුව වුයේ ඉදිරියෙන් ඇදෙන යතුරුපැදියේ රතුපැහැ ලාම්පුව පමණි. මේ භයංකාර ගමනේ අවසානය දක්වා මා සිතත් ගතත් මෙහෙයවූ නියාමක බලවේගය එයම විය. එහෙත් යතුරුපැදි පැදවීමේදී මට වඩා දක්ෂයකු වූ එරංග අයියා වඩාත් වේගයෙන් එය ඉදිරියට පැදවීය. සිදුවන්නක් සිදුවුණාවේ යන සිතිවිල්ලෙන් මා ද සිහිනයෙන් මෙන් ඔහු පසුපසින් යතුරුපැදිය මෙහෙයවූයේ වෙන කලයුත්තක් නොවූ නිසාය. (මා මෙතෙක් විඳි භයංකරම අත්දැකිම් වලින් එකක් ලෙස එය මසිතේ තැන්පත් වී ඇත.) 

කෙසේ හෝ අවසානයේ අපි කිසිදු උපද්‍රවයකින් තොරව බොරලන්ද නගරයට ලඟා වූ අතර එතැනින් දියතලාව හරහා ප.ව 7.30ට පමණ අපගේ ගමනාන්තය වන බණ්ඩාරවෙල නිවහනට ලඟාවීමු. 

ගමන අවසානයට පසු මගේ මෝටර්සයිකලය දිස්වූයේ මෙසේයි.
සටහන -

මෙම මාර්ගයේ ගමන්කිරීමට වඩාත් සුදුසුවන්නේ හොඳ තත්වයේ ඇති ෆෝවීල් රථ. ඒවායේ ටයර් සහ තිරිංග ඉතා හොඳ තත්වයේ තිබිය යුතුම අතර රථය පදවන්නා මෙවැනි දුෂ්කර මාර්ග වල ධාවනය කර හොඳ පලපුරුදු අයෙක් වීම වඩා පහසුයි. කොයිතරම් හොඳ තත්වයේ ඇති වුනත් කාර් වෑන් ආදී අනෙක් කිසිදු වාහනයකට මේ මාර්ගයේ ධාවනය කරන්න බැහැ. යතුරුපැදි වලින් පවා ගමන් කිරීම තරමක් වෙහෙසකාරී බවක් ඇතිවනවා. ඔබ යතුරුපැදිවලින් මෙම මාර්ගයේ සංචාරය කරන්නට අදහස් කරනවානම් ඔබයේ යතුරුපැදිය මේවැනි ගමනකට සුදුසු තත්වයේ පවතීදැයි සැකහැර දැනගන්න. මක් නිසාද යත් හදිසියේ ඇති විය හැකි ටයර් පන්ච් පිලිසකර කරගැනීමට තබා සිල්ලර බඩු කඩයක්වත් කිලෝමීටර් 20ක් පමණ යනතුරු හමු නොවන නිසාය.

සබැඳි :-


Friday, February 1, 2013

මෝටර් සයිකල් සවාරි 01- නන්පේරියල් මාර්ගයෙන් ලෝකාන්තයේ පාමුලට

  • සහභාගී වු පුද්ගලයන් ගනන          -  දෙකයි
  • වාහන                                       - යතුරුපැදි දෙකක්
  • මාර්ගය                                     - බෙලිහුල්ඔය-නන්පේරියල් වතුයාය මාර්ගය
  • දුර                                             -  කිලෝමීටර 10ක් පමණ (එක් පසෙකට)
සුන්දර ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය විඳගන්න තිබෙන ස්ථාන බොහොමයි. ඉන් එක් සුන්දර කලාපයක් ලෙස නන්පේරියල්  ප්‍රදේශය පෙන්වාදිය හැකියි. එසේ මෙරට සුන්දර තැන් කිහිපයකය අසිරිය විඳ ගැනීමේ අරමුණෙන් සති කිහිපයක් තිස්සේ සැලසුම් කල චාරිකා මලාවක් අතරතුරදී ක්ෂණිකව ගත් තීරණයකට අනුව අප ගමන්ගත් යතුරුපැදි මෙම මාර්ගයට හැරවෙනු ලබනවා. මෙම චාරිකා මාලාවට සහභාගි වන්නට සිටි දෙදෙනක්ම විවිධ හේතු නිසා සහභාගි වුයේ නැහැ. ඒ නිසා අවසානයේ ගමනට සිටියේ සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.

නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය
මෙම මාර්ගය ඔස්සේ ලෝකාන්තය දක්වා පවා පිවිසිය හැකියි.
එහෙත් දැනට මෙම මාර්ගයෙන් ලෝකාන්තයට යාමට අවසර නැතිලු.
බදුල්ල කොළඹ මහාමාර්ගය
සුන්දර හෝර්ටන් තැන්නට පිවිසීමට ඇති මාර්ග කිහිපය අතුරෙන් බෙලිහුල්ඔය - නන්පේරියල් මාර්ගයත් එකක්. කෙසේ වුවත් මෙම මාර්ගයෙන් ලෝකාන්තයට හෝ හෝර්ටන් තැන්නට දක්වා යාමට මේ දිනවල නීතිමය අවසරයක් නැහැ. එසේ වුවත් මෙම මාර්ගයේ සුන්දර නන්පේර්යල් ගම්මානය දක්වා යාමට කිසිදු ගැටලුවක් නැහැ. මෙම මාර්ගයේ ලංගම බස්රථයක් පවා ධාවනය කරන අතර නන්පේරියල් ගම්මානය බාහිර ලෝකය හා සම්බන්ධ කරන ප්‍රධානම නියමුවා එයයි. බස්රථය නොමැති දාට ගම්වැසියන් බෙහෝ අවස්ථාවලදී එම කිලෝමීටර් 9ම ගෙවා දමන්නේ පා ගමනින්.

නන්පේරියල් -  බලංගොඩ බස් රථය
මෙම බස්රථය බලංගොඩ ඩිපෝව සතු අතර මෙම මාර්ගයේ ධාවන කිරීම සඳහා ම
යොදවාගෙන තිබේ.
නන්පේරියල් ගම්මානය දක්වා වැටී ඇති මාර්ගය මා මෙතෙක් මෙරටදී දැක ඇති මාර්ගයන් වලින් අතිශයින්ම සුන්දර මාර්ගය ලෙස හැදීන්වීමට මා පෙලඹෙන්නේ ඇත්තෙන්ම එහි ඇති වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සුන්දරත්වය නිසයි. පහත ඇති ඡායාරූප පවා එම සුන්දරත්වයේන් 1%ක් වත් කියාපෑමට අසමත්.
නන්පේරියල් මාර්ගයේ පිවිසුම් දොරටුව.
මාර්ගයට ඔබ පිවිසෙන්නේ වාහනයකින් නම් මෙම ස්ථානයෙන්
අවසරපතක් ලබාගත යුතුයි.
මෙම මාර්ගයේ ගමන්කිරීමට ඔබට අවශ්‍යනම් ඔබ විසින් ගමන් කරන වාහනය වෙනුවෙන් අවසරපතක් ලබාගතයුතුයි. ඒ සඳහා ඔබ 50/=ක් ගෙවා ඇතුල්වීමේ ප්‍රධාන ගේට්ටුවෙන් එම අවසර පත ලබාගතයුතුයි. එම අවසරපත උපයෝගීකරගෙන ඔබට නන්පේරියල් තේ කම්හල දක්වා ගමන්කල හැකිය.

නන්පේරියල් තේ කම්හල. මෙය අයත්වන්නේ බලංගොඩ වැවිලි සමාගමටයි
 ඉන් ඔබ්බට වූ මාර්ගයේ ගමන්කල හැක්කේ අවසර ලබාගත් වාහන සඳහා පමණයි. තවද මේ අවසර පතින් ඔබට තේ කම්හල නැරඹිමටද අවසර නැහැ.

ලෝකාන්තය දක්වා පිවිසෙන මග. මෙම ගේට්ටුවෙන් ඔබ්බට
වාහනයකින් යාමට විශේෂ අවසරයක් ලබාගතයුතුයිලු.

මෙතනින් ඔබ්බට තවත් කිලෝමීටර 12ක් ගිය තැන බලංගොඩ වැවිලි සමාගම විසින් පාලනය කරන සංචාරක බංගලාවක් ඇතිබවත් ඔබට අවශ්‍ය නම් එය එක් දිනක් සඳහා 12000ක් වු මුදලකට වෙන්කරවාගත හැකි බවත් තේ කම්හල් පාලකවරයාගෙන් දැනගන්නට ලැබුණා. එසේ ලබාගන්නා ඔබට කෝකියෙක්, දර, ගෑස් සහ රාත්‍රී 12 දක්වා විදුලිය ආදී පහසුකමත් ලැබෙනවා. එම බංගලාවේ වරකට 12කුගෙන් යුත් කණ්ඩායමක් නවාතැන් ගතහැකි එකක් බවත් පවසන ලදී. ඒ අනුව ඔබට අවශ්‍යනම් සුන්දර ලෝකාන්තය සමීපයේ සුන්දර අත්දැකීමක් විඳගැනීමටත් හැකිවේවී.


මාර්ගයට වැටී ඇති පස් කන්දක්. මෙවැනි අවහිරතා මෙම මාර්ගයේ සුලභයි.
මෙවන් සුන්දරත්වයක් වෙන කොහේනම් ඇද්ද?
මග දිගේ සුන්දරත්වය.
 පහලින් පෙනෙන්නෙ නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය. ඒක තමයි ගමේ පාසල.
මග දිගේ සුන්දරත්වය.
තව කට්ටිය එනවා...
පැරණි පාලම් වල නටඹුන්. කොන්ක්‍රීට් පාලම් ඉදිවෙන්න කලින්
බස්රථය පවා ගමන් කලේ මෙවැනි කොටන් පාලම් මතින්.
මග දිගේ සුන්දරත්වය.
අසීරු වංගුවක්..
මග දිගේ සුන්දරත්වය.

ගමනේ විශ්වාසනීය සහකරු..
මෙම මාර්ගයේ ගමන් කිරිමෙන් ඔබට අතිසුන්දර ගලගම ඇල්ල, හිරිකටුඔය සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ආදී සුන්දර ස්ථාන  වලට පිවිසිය හැකියි.

පරිවාර දියඇලි
පරිවාර දියඇලි
අතිශයින්ම සුන්දර ගලගම ඇල්ල..
හිරිකටුඔය සංචාරක මධ්‍යස්ථානය පිවිසුම
පරිවාර දියඇලි
වසර හතරක් සෙවණ දුන් පින් බිම. සබරගමුව විශ්ව විද්‍යාලය.
සටහන:- 
සුන්දර ස්ථාන වලට යන්න. ඒවා දැක බලාගන්න. එහි සුන්දරත්වය විඳින්න. එහෙත් එම සුන්දරත්වය විඳිමෙන් පමණක් සෑහිමකට පත්වන්න. ඒවා විනාශ කරන්න එපා. මතකයන් සහ ඡායාරූප පමණක් රැගෙන එන්න.