2009 ඇත්තටම තාක්ෂණ වසරද?
මේ අවුරුද්ද ගෙවිලා යන්න තව දවස් දහයකට වඩා නැහැ. ශ්‍රී ලකාවෙ පුරවැසියන් විදිහට අපිටනම් 2009 වසර වැදගත්. ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත්ත නිසා. කොහොම උනත් මං මේ කියන්න ලෑස්ති වෙන්නනෙ ගොඩක් අය දැනුවත්ව හිටපු දෙයක් ගැන නෙමෙයි.
2009 වසර තොරතුරු තාක්ෂණ වසර විදිහට නම් කරලා තිබුණා. හැබැයි ඒකෙන් රටට සිදුවුන වාසිය මොකක්ද කියලානම් තවම තේරුණේ නැහැ. කිසිම වැදගත් දෙයක් නොරතුරු තාක්ෂණය පැත්තෙන් නම් රටට දැනෙන දෙයක් සිදු වුනේ නැති බව බොහෝ දෙනෙක් කතා වෙන මතයයි. බැනර් පෝස්ටර් වලට විතරක් සිමා වුන බොහෝ දේවල් තියෙන මේ රටේ මේකත් හොද බිස්නස් එකක් වුනා කිවුවවොත් තමයි හරි.
රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්තියක් තොරතුරු තාක්ෂණය වෙනුවෙන් සැකසිය යුතුයි කියන එක වසර ගණනාවක් තිස්සෙම සැරින් සැරේ මතුවෙන, මතයකට ව්තරක් සීමා වුන දෙයක්. තවමත් ඒ තත්වයට පත් වෙන්න බැරි වුන එකේ පාඩුව අපේ රටටම තමයි. අපේ දේශපාලන ක්‍රමයට පින්සිද්ධ වෙන්න ලෝකෙ අනිත් රටවල් එක්ක බැලුවොත් අපි තාමත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉන්නෙ ගව් ගානක් දුරින්.
තොරතුරු තාක්ෂණය, එහෙමත් නැත්නම් IT කිවුවම ගොඩක් දෙනා හිතන් ඉන්නෙ computer එකකුයි internet පහසුකමයි තිබුණනම් සේරම හරි කියලා. ඇත්තටම රටේ ජීවත්වෙන මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ගන්න බැරිනම් මොනව තිබුණත් මොකටද? තාමත් ලංකාවෙ ජනගහණයෙන් කීයෙන් කීදෙනාටද පරිගණකයක් හසුරවන්නට පුලවන්. මේ අතින් බලනකොට අලුත් පරම්පරාවනම් ඉදිරියෙන් ඉන්නවා. නමුත් සමස්ථ වැඩිහිටි ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට පරිගණක සාක්ෂරතාවයක් ඇත්තෙම නැතිතරම්.
ලොකුවට උත්සව තියලා වෙබ් අඩවි විවෘත කරන එකත් දැන් රටේ විලිසිතාවක් වෙලා. වෙබ් එක හදන්න ගිය වියදම වගේ සිය ගුණයක් වියදම් කරලා උත්සව තියනවා. හැබැයි මාස දෙක තුනක් ගියාම සයිට් එකක් තිබුණද කියලත් මතක නැහැ. ලංකාවෙ බොහොමයක් අමාත්‍යාංශ, රජයේ ආයතන වල තත්වය ඕක තමයි. එයාලගෙ වෙබ් සයිට් වලින් මහජනයට තියා එයාලටවත් සේවයක් වෙනවද කියන එකනම් සැකයි.
පාසල් විෂය මාලාවට IT ඇතුලත් කරලා තිබුණත් ඒවා උගන්වන්න ගුරුවරු නැහැ. කොළඹ සහ අනෙකුත් දියුණු නගරවලට නම් ප්‍රශ්ණයක් නැහැ. නමුත් ගම්බද පාසල්වලට මේ තත්වය තදින්ම බලපානවා. ගුරුවරු හිගයි. පත්වෙලා එන ගුරුවරුත් පුලුවන් තරම් ඉත්මනින් මාරුවෙලා යනවා. අනික විදුලිබලය නැති පාසල් විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. ඉතින් විදුලිය නැතුව මේවට පරිගණක විතරක් දිලා පලක් තියෙනවද කියලා රටේ වගකිවයුත්තෝ එදා හිතුවනම් අද ඒ පලාත්වල ළමයිනුත් කොළඹ ළමයි එක්ක කරට කර ඉන්නවා. ගොඩක් පාසල් වල පරිගණක විද්‍යාගාර තියෙන්නෙ වහලා දාලා. පරිගණක යන්ත්‍ර කබඩ් වල ලොක් කරලා. ඇහුවොත් කියන්නෙ එක්කො ගුරුවරු නැහැ, එහෙම නැත්නම් ළමයින්ට දුන්නොත් මේවා කඩලා දායි කියලා. කෝටි ගණන් වියදම් කරලා පරිගණක යන්ත්‍ර පාසල් වලට දෙන්නෙ ළමයිට පාවිච්චි කරන්න නෙමෙයිනම් වෙන මොකටද? සමහර පාසල් වලට දීපු පරිගණක මේ වෙනකොට තියෙන්නෙ ඒවයෙ විදුහල්පතිවරුන්ගෙ, ගුරුවරුන්ගෙ ගෙවල්වල (නිවැරදි පුද්ගලයෝ කමත්වා!).
නිත්‍යානුකුල මෘදුකාංග පනතත් එක්ක අපේ රට මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි ඒවයෙ මිල. රටේ බොහෝ දෙනෙකුට මේ වගේ ඉහල මිලක් ගෙවලා මෘදුකාංග මිලදී ගන්න හැකියාවක් නැහැ. ඒ තියා බොහෝ දෙනා මිලට ගන්න පෙලඹෙන්නෙත් වෙලදපොලේ අඩුමිලට තියෙන, පාවිච්චි කරපු පරිගණකයක්. එහෙම එකේ මේ අයට නීත්‍යානුකූල මෘදුකාංග ගන්න හැකියාවක් නැති නිසා තමයි ඔවුන් අනවසර පිටපත් භාවිතයට පෙළඹිලා තියෙන්නෙ. ඉතින් ඒකට සාධාරණ විසදුමක් ඉදිරිපත් නොකර අනවසර පිටපත් තහනම් කල පමණින් ප්‍රශ්නය විසදෙයි කියලා හිතන එක නම් විහිලුවක්. ලෝකෙ ගොඩක් රටවල් කරගෙන යනවා වගේ අදාල සමාගම් එක්ක සම්බන්ධ වෙලා රටට ගැලපෙන අඩුමිල මෘදුකාංග සංස්කරණ ලබා ගන්න මේ රටේ වගකිවයුතු ඇත්තන් තවමත් ඉදිරිපත් නොවෙන එකනම් ඇත්තටම කණගාටුවට කාරණාවක්.
මෘදුකාංග විතරක් නෙමෙයි දෘඩාංග සහ අනෙක් දේවල් සම්බන්ධයෙනුත් තත්වය ඕකමනෙ. ඒ නිසා මේ ගැන අපේ රජය සද්භාවයෙන් යුතුව මැදිහත් විය යුතුයි කියන එක තමයි මගේ මතය. එහෙම නැතුව බොරුවට ව්‍යාපෘති හදාගෙන කල් ඇර ඇර සිටීමවත්, මේ දේවල් ඉස්සරහට දාමාගෙන ලකුණු දාගන්න උත්සහ කරන එකවත් අපේ රට වගේ සීග්‍රයෙන් දියුණු වියයුතු රටකට ගැලපෙන්නෙ නැහැ. බොරුවට වර්ෂ වෙන් කරගෙන උත්සව සැමරුවට රටට ඒකෙන් වෙන සෙතක් නැහැ. සමස්ථයක් වශයෙන්ම කියනවනම් රටේ තොරතුරු ක්ෂේත්‍රය රටට, රටේ පුරවැසියන්ට වැඩදායක ලෙස දියුණු විය යුතුයි. එහෙම නැතුව මේ වගේ දියුණු ලෝකයක් තුල අපට ඉදිරි ගමනක් නැහැ....
(සංවාදයට විවෘතය)
2009 දෙසැම්බර් මස 22 වැනිදා
...::eKiCks::...
No comments:
Post a Comment