Sunday, July 1, 2012

බලන්න මේ සුන්දර ගීතය ඔබත් අහල තියෙනවද කියලා!

වැඩි තේරුම්ක නැති පුංචි කාලේ වුනත් අපිට කණට ඇහුනු ගීත වලින් සමහර කොටස්, ඒවයේ තියෙන යම් සුන්දර කුමක් හෝ හේතුවක් නිසා අපේ මතකයේ රැඳෙනවා. මේ තියෙන්නෙත් මගේ මතකයේ ඒ වගේ රැදුනු ගීත වලින් මම අදටත් හුඟක් කැමති ගීතයක්. වසර දෙකක් පමණ තිස්සේ මා අන්තර්ජාලය පුරා සෙවුවත් එය සොයාගැනීමට හැකිවූයේ නැහැ. මේ මෑතකදි මගේ මුහුණුපොත වෙත පණිවිඩයක් මගින් කිසිවෙකු මට එම ගීතයේ You Tube ලින්ක් එක එවා තිබුණා. අවාසනාවට ඒ මිතුරාගේ නම සොයාගන්න විදිහක් නැහැ.

මේ ගීතය ඇත්තෙන්ම සුවිශේෂි එකක්. මෙය තමයි ශ්‍රීලංකාවේ මුල්ම රෑපවාහිනි නාලිකාව -  ස්වාධින රූපවාහිනියේ තේමා ගීතය. මෙය බොහෝවිට වර්තමාන පරම්පරාවේ අය අහල නැති වෙන්න පුලුවන්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය ආරම්භයේදී මෙය මෑතක් වන තුරුම ප්‍රචාරය වුනා. දැන්නම් මෙහෙම ගිතයක් තිබුණද කියලවත් එහි සේවය කරන අය දන්නවද දන්නේ නැහැ. නමට පමණක් නොවී ඇත්තෙන්ම ස්වාධීන නාලිකාවක්ව තිබුණ සමයේ වටිනා නිර්මාණ රැසක් ඒ හරහා රටට දායාද වුණා.

 මේ ගීතය You Tube වෙත ඇතුලත් කල මුදිත ලියනගම මහත්මයාටත් එහි ලින්ක් එක මට Facebook වෙත එවු සොයුරාටත් මේ වීඩියෝව ලබාගැනීමේදී සහය වුන ගයන්ත සමරදිවාකර සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.

මෙන්න පද ටික

සමනොල සිරිපා - පියුම දොවාගෙන..//
සීත ගඟුල් රට වට යනවා
සිංහරාජ වන කංචනාදයෙන්
මේඝ වලාකුලු රජ වෙනවා.....

තුරුලිය මල් පල - විහඟ ගීතයෙන්..//
ආදම් උයනක් සැඟැවෙනවා
රාවණ ලංකා ඉසුරු පුරාණය
ගොලු මුහුදෙන් මුතු මතු වෙනවා....

ගංගා හරවා - වැවු පෙල අමුණා
මිහි රස මතු කල පරම්පරාවේ..//
අනුර පොලොන්නරු සීගිරි අවුකන
විස්කම් පෑ ගුරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ....

සමනොල සිරිපා....

පිරිසිදු බුදු බණ පොත්කොට රැකගෙන
ලොවට බෙදාදුන් පරාම්පාවෙන්..//
වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
යුගයක් පෑ හිරු පරම්පරාවේ
පැතිරේ කිතුරාවේ.....

එක අම්මාගෙන් - කිරි බිවු අපි සැම..//
එක ලේ මස් ඇති සොහොයුරැවෝ
පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
එකම පියාගේ දූ දරුවෝ

පරිසරයට සුව සුවද බෙදාදෙන
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
ඒක ධජයේ යට එකටම යන අපි
ලංකා මවගේ දූ දරුවෝ
ලංකා දූ දරුවෝ....///



Sunday, May 6, 2012

පඹහින්නෙන් බලංගොඩ හරහා රජවක ඔස්සේ කල්තොට දූවිලි ඇල්ල දක්වා...


ටික දවසකින් ආයෙ ආවා බ්ලොග් එක පැත්තේ. කට්ටියම වෙසක් සමරනවා ඇති නේද? අපිනම් වෙසක් බලන්න යන්නෙ අදතමා. කැම්පස් එකේ යාලුවො ටික අද එනවලු මේ පැත්තේ. අප්පා. ආවම ඉතින් කණක් ඇහිලා ඉන්න නැහැ. මොනව වුනත් ඉතින් උන් සෙට් එකත් එක්ක පිස්සු කෙලින්න තියෙන්නෙ තව මාස තුනයි. අපේ අන්තිම සෙමෙස්ටරේනෙ යන්නේ. 

කාලෙකින් අපි නඩේ පොඩ්ඩක් ඇවිදින්න ගියෙ නැති හන්දා අපි හිතුවා පහුගිය මැයි පලවෙනිදා නිවාඩු දවසේ කොහෙහරි ඇවිදින්න ඕන කියලා. මේ වෙනකොට වටපිටාවෙ හුඟක් තැන්වල ඇවිදලා තිබුනෙ අපි. දියලුම, බඹරකන්ද, සුරතලී ඇල්ල, ඇඩිෂම් බංගලාව වගේ සුන්දර තැන් ගොඩක් සබරගමු විදු බිමට ඉතා සමීපයෙන් පිහිටා තිබීම අපේ වාසියට හේතු වුණා. 

ඇවිදින්න අලුත් තැනක් හොය හොය ඉන්දෙද්දි තමයි ටාර් ගාලා මගෙ කම්පනාවට ආවේ යන්න මරු තැනක්. ගොඩක් දවස් ඉඳන් මෙතනට යන්න ඕනමයි කියලා අපේ උන්ට කිය කිය හිටියත් එක එකා පස්ස ගගහ හිටියා. කෝම හරි මේපාර නම් කට්ටිය කැමති වුනා. ඒ තමයි කල්තොට තියෙන දූවිලි ඇල්ල බලන්න යන්න.

කතාකරගත්ත විදියට උදේ 6.30ට පිටත්වෙමු කියලා ලෑස්තිවෙලා යාන්තම් 7.20 වගේ වෙද්දි කට්ටිය පඹහින්න හන්දියට එක්කහු කරගත්තා. එතනින් බලංගොඩට ඇවිල්ලා තමයි කල්තොටට යන්න තියෙන්නේ. පඹහින්න-බලංගොඩ කොටකොටා සර්විස් එකක නැගලා ඔන්න බලංගොඩට ආවා කියමුකෝ. කෙල්ලන්ට බඩගිනි වුනේ නැතැයි. උන් කන්න යන අතරේ මමයි අපේ තව එකෙකුයි ගියා බස් එක හොයන්න. වීරයො ටික වගේ ආවාට මොකද එතනට යන විදිහවත් දන්නෙ නැහැ. 

හරි. කල්තොට බස් එකක් තියෙනවා. කට්ටියට එතනට එක්කගෙන ආවත් හරි හිටගෙන යන්න බැහැ කියලා කෙල්ලො ඇතුලට පැනලා වාඩි වුණා. අපි ටික එලියට වෙලා කදයක් දාගෙන ඉන්දෙද්දි ඩැයිවර් අයියා ඒ පැත්තට ආපු හන්දා මම පොඩි කතාබහක් දාලා බැලුවා විස්තරයක් දැනගන්න.බහින තැනක්වත් දන්නේ නැහැනේ. අම්මට සිරි කිවුවලු. ඩැයිවර් අයියා දීපු උත්තරේට අපි උඩ විසි වුණානම් තාම පාවෙනවා. :D එයා කියන විදිහට දිය ඇල්ල බලන්න කල්තොට බස් එකේ ගිහිල්ලා බැහැලු. ඒකට යන්න ඕන වේලිඔය කියන බස් එකේලු. මල සේක කිවුවාලු. වේලිඔය බස් එකක් ගියේ මේ දැන්. ඊගාව එක තියෙන්නේ 9.45ටලු. 

මේ වෙද්දි වෙලාව 8.00ට විතර ඇති. ඉතින් ඩ්‍රැයිවර් අයියා අපිට වෙන විකල්පයක් දුන්නා. ඒ තමයි මේ බස් එකේ ගිහිල්ලා කල්තොටින් බැහැලා වේලිඔය-තැන්න පාරේ ආපහු එන බලංගොඩ බස් එකක ආපස්සට එන එක. එහෙම ඇවිල්ලා දිය ඇල්ල බලන්න බහින්න පුලුවන්. අපි ඒ විකල්පෙ තොරගත්තා.

මේ දකුණු පැත්තෙ ඉන්නෙ ඔයාලා දන්න කෙනෙක්
(ලාහිරු දහසක් දිලි දිලී ලියන ලහිරුවා. අපේ බැචෙක්)
මේ පෙර පුහුණු සැසියක්. බස්වල යද්දි පුංචි දරුවො නලව ගන්නේ මෙන්න මෙහෙමයි.
බස් එක බලංගොඩින් පිටත් වෙලා සෑහෙන දුරක් ගියාට පස්සේ අපි ගමන් කරමින් හිටියේ වඩනයෙන් විස්තර කරන්න බැරිතරම් ඉතා සුන්දර ප්‍රදේශයක් ඔස්සේ. ගිරි දුර්ග, කඳුබෑවුම්, වනරොදවල්, හේන් වගේ හැම දෙයක්ම මේ මාර්ගයේදී දැකගන්න පුලුවන් වුනා. ඒ වගේම සමනලවැව ව්‍යාපාරයේ විදුලි බලාගාරය (කපුගල) පිහිටා තිබෙන්නෙත් මේ පාරෙමයි. 


විසාල ගල් පර්වතයක් මැදින් තමයි පාර හදල තියෙන්නේ. මේ පාර
හදනවා අපේ රංගි අක්කට මතකයි කියනවනේ. 
කන්ද දිගේ පහලට බසින විට ඈත පෙනෙනයුරු
(සමනලවැව අධිආරක්ෂිත කලාපය පසුකරමින්)
සමනල වැවේ ඉඳන් බලාගාරයට ජලය ගෙන එන නලය.
මෙයින් ගෙන එන ජලයෙන් විදුලිය නිපදවීමෙන් පසුව
එම ජලය උඩවලවේ ජලාශයට වැටෙනවාලු...
මේ අනපේක්ෂිත ගමනෙදි අපිට තවත් සුන්දර ස්ථාන දෙකක් හමුවුනා. එයින් එකක් තමයි දුනුවිනි ඇල්ල හෙවත් දෙවෙනි ඇල්ල කියන අතිශයින් සුන්දර තවත් දිය ඇල්ලක්. ඒක අපි කලින් දැනගෙන හිටිය එකක් නෙම්. බස්රථය ගමන්කරන මාර්ගයට තරමක් දුරින් කඳුවැටියකින් පහලට රෑරා හැලෙන මේ දිය ඇල්ල ඉතා අලංකාරව ඈතට දිස්වුනා.
දුනුවිනි ඇල්ල
අනෙක් ස්ථානය තමයි බුදුගල පුරාණ විහාර සංකීර්ණය. එතන ඉතිහාසගත වැදගත් පුරාවිද්‍යා බිමක්. 
බුදුගල පුරාණ විහාරස්ථානය
අපිට වෙලාව සීමිත හන්දා මේ තැන් දෙකම බස් එකේ ගමන් කරන ගමන්ම දැකබලාගෙන සැනසෙන්න සිදු වුණා.

ඔන්න යාන්තම් අපි කල්තොටට ඇවිත් එතන පොඩ්ඩක් කැරකි කැරකි හිටියා. පොටෝමේනියාව හොඳකරගන්න පින්තූර ගනිමින් ඉන්නකොට අපිට යන්න බස් එකකුත් ආවා. 
කල්තොට ව්‍යාපාරය ගැන කල්තොට හන්දියෙ පිහිටවා තියෙන පුවරුව.
කල්තොට ව්‍යාපාරයේ ජල සැපයුම් මාර්ග..
ඒකෙ නැගල අපි දිය ඇල්ලට යන්න තියෙන පිවිසුමට ලඟාවුණා.
නම් ටිකයි බෝර්ඩ් එකයි නම් වරදින්නේ නැහැ :D
එතනට ආවට පස්සෙ තමයි දන්නේ. අම්මා ගහයි කිවුවලු. කිලෝමීටර් තුනක් විතර පයින් යන්න තියෙනවා කියලා කිවුව විතරයි කෙල්ලො ටික ඉන්න පැත්තෙන් ඥැස් බෑස් ගාලා සද්දයක් ආවා. 
සසර කලකිරිල වගේ හිටියට මෙයා හරි දස්සි.
එයා තමා මුලින්ම ගියේ!!
ගමනට සෙට් වෙච්ච කෝච්චියා ඇතුලු පිරිස
ටිකට් දෙනතුරු....
මේ ආච්චි අම්මා තමයි ටිකට් දෙන්නේ..
ඇත්තටම ඒ වෙලාවෙ තිබුණ අවු කට්ටෙ හැටියට ඒ වැඩේ එච්චර ලේසි එකකුත් නෙමෙයි තමා. කොම හරි අවුවෙ බඩගගා පැයකින් විතර දිය ඇල්ලට ලඟා වුනා.
කට්ට අව්වේ...
මගේ සූටිං...
මගේ සූටිං...
කට්ටිය මාව දාලා සෑහෙන දුරක් ගිහින්...
ඇල්ලට බහින පඩිපෙල...
හෙමින් හෙමින් පල්ලම බහිනවා..
දූවිලි ඇලි දැනට මම දන්න තරමින් දෙකක් තියෙනවා. එකක් මේක. අනික තමා නෙලුවෙ තියෙන දූවිලි ඇල්ල. තවත් ඇති. මම දැකල තියෙන දිය ඇලි අතර මේ කල්තොට දූවිලි ඇල්ල තරමක් සුවිශේෂියි. මේකෙ වතුර වැටෙන්නේ විශාල බේසමක් වගේ තැනකට. ඒ බේසමේ තියෙන පුංචි කපොල්ලකින් තමයි වතුට එලියට යන්නෙ. ඒ කපොල්ල වහගත්තනං ජලාශයක් හදතෑකි :P
ගමනාන්තය - දූවිලි ඇල්ල
ගෙනාපු කෑමජාති බීම ජාති වලට වග කිවුවට පස්සේ පින්තූර සෙල්ලම පටන්ගත්තා. ආහ්! නෑ නෑ ඒක පටන් අරන් තිබුනේ. ඒ අතරේ අපි කෑවා. 


එක එක අයට එක එක විදියේ පින්තූර ඕන වුනා. එක්කෙනෙක් ගත්ත ස්ටයිල් එකට තව එක්කෙනක්ට. අත් උස්සලා, බිම පෙරලිලා, වැල්ලවල එල්ලිලා..... අප්පා... එතන එකම විකාරයයි. :D වෙලාවට වෙන කවුරුත් හිටියේ නැහැ. හිටියේ නෑ නෙමේ හිටියා. කපල් එකක් හිටියා අපිට පිටිපස්සෙන් තිබුන ලැගුම් කුටියක. අපේ ආගමනයත් එක්ක උන්දලාගෙ වැඩසටහන නැවතුනා. :D
හිතා ගන්නකො එතන නටපු පිස්සුවෙ තරම.. :D
සේරම පිස්සු සෙල්ලම් ටික ඉවර වුනාට පස්සේ අපි එතනින් පිටත් වෙලා ගිහින් ඇල්ල මුදුනට පිවිසුනා. එතනට එන්න පුලුවන් පහසුවෙන්. හැබැයි ටිකක් ප්‍රවේසමෙන් ඉන්න වගබලාගන්න ඕන. පොඩ්ඩ බැරි වුනොත් කෙලින්ම දිවිය ලෝකේ. නාගෙනම යන්න පුලුවන්. :D


ඇල්ලට උඩින්...
මේ වෙද්දි කෙල්ලො ටික කෙඳිරි ගාන්න පටන් අරන් තිබුනේ. කිලෝමීටර් තුනක් විතර ආපහු පයින් යන්න බැරියෝ කිය කියා. දිය ඇල්ල ගාව ඉඳන් රථගාලට ඇවිල්ලා කට්ටිය දොයි. 
ඔය පේනවනේ මූනු වල හැටි. :D
ඇත්තටම ඒ අවුවේ ආපහු යන්න කියන එක ඒ හැටි ලේසි වැඩක් නෙමේ. වාසනාවට වගේ ඇල්ල බලන්න ආපු තව සහෝදරයෙකුට ස්තූතිවන්ත වෙන්න අපිට කරදරයක් නැතිව ආපහු හන්දියට එන්න පුලුවන් වුනා. අපේ කණ්ඩායම ඒ දුෂ්කර පාරේ ඔහුගෙ පුංචි වාහනයෙන් දෙවරකට ප්‍රවාහනය කරන්න තරම් ඔහු කාරුණික වුණා. ඒ සහයෝගය නොවන්න අපි තාම එනවා.

අන්තිමට තවත් සුන්දර මතකයන් ගොන්නක් හිතේ පුරවගෙන අපි ආපහු කැම්පස් එකට ලඟාවුණා.

(මේ බ්ලොග් පෝස්ට් එකේ ඇති සමහර කරුණු මැර තර්ජන හමුවේ වෙනස් විය හැකි බව සලකන්න)

Sunday, April 29, 2012

ලැප් එක මස් කලෙමි. (නාහෙට නාහන උන් බැලීම තහනම්)


    ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. සෑහෙන කාලෙකින් මොකුත් ලියන්න බැරි වුනානෙ. ආ.. සයිබර් සැණකෙලියට ගිහිල්ලා මැක්සම ෆන් එකක් ගත්තා. ඒක මෙවර සංවිධානය කරපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕන. මේ පාර අලුත් බ්ලොග් ලියන්නන් සහ ලියන්නියන් පිරිසක් හඳුනාගන්න පුලුවන් වුනා.
පින්තූරෙ ගයාන්ගෙ. ඉස්සුවෙ මෙතනින්
    කෙහොමින් කොහාමින් හරි ගෙදරට වෙලා කම්මැලි කමින් තමා මේ දවස්ටිකේ ඉන්නේ. ලැපී තමා සැනසුමට එකම මග. COMPAQ CQ60 එකක්. ඒත් ඉතින් ටික කාලෙක ඉඳලා මේකට එක එක ලෙඩ රෝග එන්න පටන් අරන්නේ. තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා හිතාගන්න බැරි තරම් රත් වෙන එක. රත්වෙන එක COMPAQ වල හැටියක්ලු. ඒත් මේක සෑහෙන්න රත් වෙනවා. රත්වෙලා වැඩි කමටම එකපාරටම ඕෆ්වෙලා යනවා. මොකක් හරි වැඩක් කරන ගමන් Save කරලා තිබ්බෙ නැත්තං අනාතයි.
    පොඩ්ඩක් හොයල බැලුවම තේරුණා ෆැන් එක හිරවෙලා නිසා වෙන්න ඕන කියලා. ඉන්ටර්නෙටුත් නැතුවනේ හිටියේ බිල ගෙවලා නැති නිසා. කරන්න වැඩකුත් නැති එකේ උදේපාන්දරම හිතුවා ලැපීව ගලවලා සුද්දයක් දෙන්න ඕන කියලා. පරහකට හිටියේ ජීවිතේටම ලැපක් ගලවලා නැති එක. වැඩේ වැරදුනොත් ඉතින් සොරිම තමා. ඒ අස්සේ ඕන කරන Tools මොනවත් ඇත්තෙත් නැහැ. ඒත් ඉතින් එහෙම කියලා බැහැනේ. හිච්චි කොල්ලා කාලෙ ඉඳන් අතට අහුවෙන ඕනම දෙයක් කෑලි වලට ගලවලා බලන එක තමා පුරුද්ද. ඒ නිසා මේ පාරත් වැඩේ අත ඇරියේ නැහැ. (හැබැයි කලින් දවසකුත් ලැප ගලවන්න බැරුව වැඩේ අත ඇරලා දැම්මා.)
     ටූල් වලට කියලා හම්බවුනේ ටෙස්ටර් එකකුයි පොඩි මල් ස්කුරුප්පු නියනකුයි විතරයි. අයේ සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ. පිටිපස්සේ තියෙන ඇණ සේරම පිලිවෙලකට ගලවලා එහෙන් මෙහෙන් ඇදලා උස්සලා බැලුවා. ම්හු. පලු වෙන පාටක් නැහැ. ඒම කියලා බැහැනේ. ටිකක් එහෙ මෙහෙ කරලා බැලුවා. ලිඩ් එක ඇරියා විතරයි මෙන්න කීබෝර්ඩ් එක අතේ :D
    දැන් තමා වැඩේ මීටර් වුනේ. එතන තව ඇණ වගයක් තියෙනවා. ඒවුවත් ගැලෙවුවම පිලිවෙලින් ලැප කෑලි කරගන්න පුලුවන් වුනා. මෙන්න කෑලි ටික :D 
(පින්තූරේ බුකියට දාපු වෙලාවෙ නම් මරු කමෙන්ට් එහෙම දාලා තිබුණා. :D) 
    කෝම හරි ගලෝගත්තා කියමුකෝ. ඊ ලඟ ප්‍රශ්නෙ තමා පිලිවෙලකට ආපහු තිබ්බ විදියටම හයි කරන එක. හයි කලාට මදි. වැඩ කරන්නත් එපැයි. :D ඒ අස්සේ ගලවපු ඩේටා කේබල් වගයක් ගැලවුන පැත්ත හොයාගන්න බැරුවත් හිටියේ. හයි කරන එක පස්සේ වැඩක්නේ කියලා පොඩ්ඩ්ක් කැලි ටික පැත්තට ඇහැ දාලා බැලුවාම තමා තරු පෙනුනේ. කූලිං ෆැන් එකේ ෂටර් එකක් කියලා හොයාගන්න නැහැ. හීට් සින්ක් එකයි වෙන්ටිලේෂන් මවුත් එකයි සේරම වැහිලා. ඒක සුද්ද කරන්න හයි කම්ප්‍රෙෂන් එයා ෆ්ලෝ එකක් ඕනලු. :D අපිට කොයින්ද ඕවා. හොඳට පණ ඇරලා ගත්තා හුස්මක්. පිම්බා. :P එහෙම ටිකක් වෙලා දඟලාලා ෆැන් එක එහෙම්පිටින්ම සුද්ද කරගත්තා. 
මෙන්න මුන් තමා මාරයෝ වගේ ඒක අස්සේ හිටියේ. 
ඉතින් රත් වෙන එක අහන්නත් දෙයක්යැ. :D
    සේරම කෑලි බෑලි ටික සුද්ද කරලා අමාරුවෙන් පැයක් විතර දඟලලා ආපහු හයි කරගත්තා. මදෑ ඔයින් ගියා. මැනුවල් එකක්වත් නැතුවනේ වැඩේට අත ගැහුවේ.
හැබැයි ඉතින් හයි කරලා බලද්දි ඇණ දෙකක් ඉතුරුයි :D
    මේ ඉන්නේ. දැන්නම් එලකිරි වගේ වැඩ. කලින් වගේ රත් වෙන්නෙත් නැහැ.


උපදේශය:- 
මෙවුවා කියවලා බලලා ඔන්න ලැප් ගලවලා ආපහු හයිකරගන්න බැරි වුනොත් ඕන් මම නම් වග කියන්නෙ නැහැ. :D


Friday, March 9, 2012

ගෙදරදිම කොත්තුවක් දාමුද?

-*-
        වැඩිය කවුරුත් නෙදෙන්නවා උනාට ඔය කෝච්චි වලට අමතරව මගේ තව තව විනෝදාංශ කිහිපයක්ම තියෙනවානේ. එයින් එකක් තමා ඔය උයන පිහන වැඩ.  හැබැයි ඉතින් බ්ලොග් අවකාසෙ ඉන්න අපේ මාරයා අයිය වගේ දක්ස කෝකියෙක් වෙන්නනං මට බැරිවා ඕං.කෙහොමින් කොහොමින් හරි ඔන්න ඊයේ ගෙදර ඉන්දෙද්දි පොඩි අයිඩියාවක් ආවා මොකක් හරි කෑමක් ගෙදරදි හදාගෙන කන්න. එවුවා ගියාවෙකො. ආයේ මොකක්ද ඉතිං කෑමකි කියද්දි ඔලුවට ආවේ කොත්තු තමයි. මාත් අතෑරියෙ නෑ. හදලා කෑවා. පින්තූරයක් බුකියේ දැම්මා නිකං ජොලියට වගේ. අප්පේ ඒකට ආපු ප්‍රතිචාර. :D කැමති අය මෙතනිං ගිහිල්ලා බලාගෙන එන්නකෝ.

Friday, February 17, 2012

ඔන්න ඔහොමලු කෝච්චියක් බස් එකක් පස්සෙන් එලෙව්වේ...

        හප්පේ මේ දවස් වල පුදුම බිසියක් තියෙන්නේ! තුනෙ පන්තියෙන් උඩහට පාස් කරන විභාගෙ නොවැ. 

     ස්ටඩී ලීව් කියල හම්බුවුන කාලේ සතියක් දෙකක් තිස්සේ ගෙදර ඉඳලා, රට වටේ රවුම් ගහල ඔන්න කට ගාවටම විභාගෙ ආවට පස්සේ තමයි කැම්පස් එක මතක්වුනේ. එදා උදේ 8 ට ඩිස්කෂන් එකක් තියෙනවා කියලා හැමදාම යන යාලුවත් එක්ක සුපුරුදු බස් එකේ කැම්පස් යන්න කියලා මහපාන්දර 5ට පාරට ආව ඔන්න.

     කොල්ලා හැම සතියෙම කැම්පස් යන්න පුරුදු වෙලා ඉන්නෙ පානදුර-මඩකලපුව බස් එකේ. ඒක හොරණට එන්නේ උදේ 5.20ට විතර. හැමදාව වගේ ඉතින් තාත්තා වාහනයෙන් ටවුමට ගෙනල්ලා දානවා. ටවුන් එකට ආවත් හරි ඔන්න ආවා කියහන්කෝ පුංචි මෙවුවා එකක්. පොඩි වුවමනාවකට යන්න ඕන කමක්. බස් එකේත් තව පැය හතරක් ඉන්න එපැයි. ටවුන් එකේ තියෙන පොදු ස්ථානෙත් ටික දවසක් ඉඳලා වහල හින්දා එකම විසඳුම වුනේ පාලු පාරක් තමයි. පොද වැස්සත් එක්ක. 

    හෙමින්ම ගිහිල්ලා වැඩේත් ඉවර කරලා විනාඩියෙන් ආපහු බස් නැවතුම්ලට එන්න ආවා කියමුකෝ. 

      අම්මටසිරි මෙන්න බස් එක අදිනවා. පස්සෙන්ම දිවුවත් නැවැත්තුවේ නැහැ. කෙහොමත් ඔය යකා ජෙට් එක වගේ තමා. එකෙක් බස් එකෙන් බිමට වැටුනත් ආයෙ නවත්තන්නේ හැතැක්මත් විතර ගිහිල්ලා. 

       මලකෙලියයි. දැන් ඉතින් ඊගාව බස් එකට තව පැයක් විතර ඉන්න බැහැනේ. එකම විසඳුමයි තිබ්බේ. 

පැන්නා පාරට. ඒ වෙලාවේ පාරේ ආපු බයික් එකකට අත දැම්මා. මගේ වෙලාව කියන්නේ බයික් එකත් නැවැත්තුවා.

        "අනේ අයියේ බස් එක මිස් වුනා අල්ලල දෙන්නකො." 

      "අල්ලගන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ. ආ හරි හරි. කමක් නැහැ. බලමු.  නගින්නකො." 
කියන්න කලින්ම මම බයික් එකේ වාඩි වෙලත් ඉවරයි.

අයියත් ඕන්න පුලුවන් උපරිම රේස් කරලා යන්න පුලුවන් උපරිම වේගයෙන් යන්න පටන් ගත්තා.

 මල සේක මේක මදුරුවෙක්නේ. :O

       සෙල්ලංද කොල්ලො කිවුවලු ලොන්සින් 48 එකකින් ගිහිල්ලා කෝමද ජෙට් එකක් වගේ පියාඹන බස් එකක් අල්ලන්නේ. හැබැයි අයියත් අත අරින්නේ නැහැ. යන්න පුලුවන් උපරිම රේස් කරලා යනවා. බස් එක ඈතින් පේනවා ආය නොපෙනී යනවා. දැන්නම් ෂුවර් මේක මේ කපේදි නවත්තගන්න නම් වෙන්නේ නැහැ. 

     ඩබල් දාලා 48 එකක් බස් එකක් එක්ක මොන රේස් යාමක්ද? ඒ මදිවට මට හෙල්මටුත් නැහැ. බෑග් එක පිටේ එල්ලගෙන ලැප් බෑග් එක අතේ. පොදවැස්සේ වැරදිලා හරි බයික් එක ලෙස්සුවොත් ඉතින් ආයේ පැණි බේරෙනවා. මල්ලිට වෙච්ච වැඩේම තමා වෙන්නේ ආයෙ ඒතෙ දෙකක් නැහැ.

         කරන්න දෙයක් නැහැ. ගත්තා බස් එකේ ඉන්න එකෙක්ට කොල් එකක්.

"මචන් බස් එක මිස් වුනා. මං මේ පිටිපස්සේන් එනවා බයිස් එකක. පොඩ්ඩක් කොන්දට කියපන් නවත්තන්න කියලා." 

"ආ හරි හරි මචන්."

  හරි දැන් ඉතින් වැඩේ ගොඩනේ. ඔන්න ඉතින් අපි යනවා. ම්හු බස් එක පෙන්නවත් නැහැ. කිලෝමීටරයක් විතර ගියා පේන පාටක්වත් නැහැ.   ගත්තා ආයෙ කෝල් එකක්. 

"මචන් බස් එක කොයි හරියෙද නවත්තලා තියෙන්නේ."

"ආ බස් එක හෙමින් යන්නේ බං ඉක්මනට වරෙන්..."

"යකෝ.... පොඩ්ඩක් නවත්තන්න කියහන් මම ලඟම එනවා.."

"ආ හරි හරි..."

කොහොම හරි දැන් ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර බස් එක පස්සෙන් එලවලා. ඔන්න අරූ ආයේ කොල් කරනවා. 

"මචන් බස් එක නැවැත්තුවා. ඉක්මනට වරෙන් බන්. නැත්තං මට චාටර් එක."

"හරි බං මේ එනවා."

ඔන්න එතකොටම පේනවා බස් එක නවත්තලා තියෙනවා. 

"ආ හරි බං මට බස් එක පේනවා. මචං මේ එනෝ..."

     කොහොම හරි අන්තිමට බස් එක පස්සේ හෙන වෙලාවක් ඔට්ටු අල්ලලා බස් එකට. ඒ වෙලාවෙ උදව්කරපු මනුස්සයගේ නම ගමවත් අහගන්න උනේ නෑ. අන්තිම මොහොතෙ අහගත්තේ ඒ මනුස්සයා වැඩ කරන තැන විතරයි. දැන් පොඩ්ඩක් හොයල බලන්න ඕන. කෝම වුනත් ඒ වෙලාවෙ තමන් යන්න ගිය ගමන පැත්තක දාලා මට බස් එක අල්ලගන්න උදව් වුන ඒ සොයුරට ගොඩාක් පින්. අද කාලෙ එහෙම උදව්වක් දෙන අය ඉතින් අඩුයිනේ.

ඔන්න ඔහොමලු කෝච්චියක් බස් එකක් පස්සෙන් එලෙව්වේ...  :D

Sunday, January 29, 2012

මාරයාගෙ බයිසි මොටෝ එක

මාරයා මාමා සහ මාර බවන හෙවත් මාරපැදිය
(අනවසරයෙන් බුකියෙන් උස්සන ලදී)
හි හි.... දැක්ක නේද මාරයා මාමා එයාගෙ බයිසි මොටෝවෙන් දාන සෙල්ලම්. පට්ට වාහනේ... පොර මේ දවස් වල ඒකෙන් රට වටේම යනවලු... ආ?
ආ.....මන් දන්නේ නැහැ තනියෙන්ද කියලනම්. :D 


මාරයා මාමා ඉතින් බයිසිමොටෝවත් කකුල් දෙක අස්සේ ගහගෙන හරි හරි ගමන් යනවා කියලා මේ දවස් වල බුකිය පැත්තේ දාන පින්තූර වලින් පේනවා.

කොහොම වුනත් මම මේ කියන්න ලෑස්ති වෙන්නේ වෙන කතාවක්. ඔය බයිසි මොටෝ එක ගන්න ගිහිල්ලා මාරයා උන්නැහැට වෙච්ච සන්තෑසියක් මගේ මේ කණ ගාවින් ගියා නොවැ. 
සිද්දියෙ හැටියට මෙන්න මෙහෙම තමා වෙලා තියෙන්නේ. 

අපේ මාරයා උන්නැහැ ඉතින් අලුත් සයිකලයක් ගන්න හිතාන අතේ තිබුණු කාසි පනම් ගැනලා බැලුවම උන්දැට තේරුනේ උන්දැගේ සිහින වාහනේ ගන්න තරම් එක පාර යට කරන්න තරම් ලොකු සල්ලියක් අතේ නැහැ කියලා. උතින් උන්දෑ දන්න දහං ගැට සේරම දාලා බැරිම තැන කම්පනා කොලාලු වෙන කොරන්ට දෙයක් නැහැ පිනෑන්ස් එකක් තමා දාන්ට වෙන්නේ කියලා. :D

රස්සාවට නිවාඩුවක් කාරිය එහෙම දාලා පොරත් පහුවදා උදේම හොඳට කිට එහෙම මරලා ගියාලු අර අහවල් පිනෑන්ස් කොම්පැණියට. ඇතුලට ගියාම මෙන්න බොලේ ඒ කොම්පැනියේ ඉන්නවලු ඉටිකිරිස් රූප සම්පන්න හරිම ලස්සන සුන්දර මුව පැටියෙක් වගේ අහිංසකාවියක්. මාරයා අයියාව දැක්ක ගමන් ආ එන්න කියලා අර ලස්සනට රතු කරලා තියෙන තොල් උල් කරලා ගූඩ් මෝනින් සර් එන්න වාඩිවෙන්න කියලා ආරාධනා කොලාලු.

මාරයා මාමාත් ඉතින් ඕන් දෙයියනේ කියලා කට පුරා හිනාවක් එක්ක ගුඩ් මෝර්නින් පාරක් දාලා පුටුවෙන් වාඩි වෙලා අර දැරීවි දිහා බලාගෙන ඉන්නවලු. දෙන්නගෙන් කවුරුවත් කතාව පටන් ගන්න පාටකුත් නැහැලු. (නෑ නෑ මාරයා වසී වෙලා නෙමේ අර දැරීවි අපේ මාරයා මාමාට වසී වෙලා) :D

මේ වැඩේ හරියන්නේ නැහැනේ. ටිකකින් අර දැරීවිට පියවි සිහිය ඇවිල්ලා බැලුවලු අපේ මාරයා මාමා ඉන්නවලු සුපුරුදු සිනහවෙන්ම. ඉතින් අර දැරීවි ඩිංගක් ලැජ්ජාවෙන් ඇඹරිලා එහෙම අහනවලු මෙන්න මෙහෙම.

ම්ම්ම්ම්.... ඔවු සර්... ස්ර්ට අපෙන් මොනවද කෙරෙන්න ඕන.....

ආ.... නංගී....  ඔයාගෙන් නම් නෙමේ...  මම මේ පොඩි පිනෑන්ස් එකක් දාගන්න පුලුවන්ද කියලා බලන්නයි ආවේ මේ කොම්පැණියෙන්..  :D

&%$&*@#&^% (කෙල්ලට මලලු ඒත් ඉතින් කස්ටමර්ලා ඉස්සරහ තරහ පෙන්නන්න බැහැනේ)
හොඳයි සර්.. ස්ර්ට මොන වගේ දේකටද මේ ෆිනෑන්ස් ඒක අවශ්‍ය කරලා තියෙන්නේ.....

ම්ම්ම්.... මේකයි නංගි... මට මේ මේ..... මෝටර් බයික් එකක් ගන්න තමා පිනෑන්ස් එක ඕනා.....

ආ... හොඳයි.... ස්ර් එහෙනම් මෙන්න මේ ෆෝම් ටික ෆිල් කරන්න ඕන.. ප්ලීස් මට කියන්න පුලුවන්ද සර් ගන්න යන්නේ මොන  මෝටර්බයික් එකක්ද කියලා..

ම්ම්ම්.... බජාජ් බයික් එකක් නංගි....

ඕකේ සර්.. දෙන්.... මට කියන්න මෝටර්බයික් මොඩල් එක කියන්න පුලුවන්ද.

ම්ම්ම්.... ඒක තමා කිවුවේ. බජාජ් බයික් එකක් නංගි....


සමාවෙන්න සර්... මම ඇහුවේ සර් ගන්න ඉන්න බයිසිකලේ මාදිලිය.... කරුණාකරලා කියන්න ස්ර්.... මම ඒක පැහැදිලි මේ ෆෝම් එකේ සටහන් කරන්න ඕන.

ඒක තමා මම දැන් කිවුවේ.... බජාජ් බයික් එකක් කියලා.... (ටිකක් විතර මල පැනලලු දැන්)

සර්ට වුවමනා කරන්නේ බජාජ් බයික් එකක් කියලා මම දන්නවා. මට කරුණාකරලා මොඩල් එක කියන්න. 

මොන &*%$#@&%$ මට ගන්න ඕනේ බජාජ් බයික් එකක්....... මම දැන් කී පාරක් කිවුවද? ( අම්බානක මල පැන)

සර් අපිට තව මෙතන වැඩ තියෙනවා. කරුණාකරලා තමන් මිලදී ගන්න යන මෝටර්බයික් එකේ මොඩල් ඒක දැනගෙන එන්න. එහෙමෙ නැතුව කෝමද අපි අවශ්‍ය ෆිනෑන්ස් එක ඇපෘ කරන්නේ?

මොන පිස්සුවක්ද **** මම දැන් කීපාරක් කිවුද මන්දා. යකෝ... මට ඕනේ බජාජ් බයික් එකක් යකෝ.......
තොපි මේවට වැඩට එන්නේ බයික් එකක මොඩල් එකක්වත් දන්නේ නැතුවද..... ග්ර්...... ( එක විජ්ජුම්බරයයි)

අම්මටසිරි කෙල්ලට පස්සේලු වැඩේ මීටර් වුනේ. අල්ලපු ටේබල් එකේ හිටපු කොල්ලා ෂේප් එකේ මේකිව ගොඩ දාපු නිසා. 

[පස්සේ ඉතින් කෙල්ල යාප්පුවෙන් සමාව ඉල්ලලා වැඩේ කරලා දුන්නය කියවනේ. දැන් දෙන්න ගජ යාලුවොලු :D]

දන්නෙ නැති අයට මෙන්න බයික් එක :D

Thursday, January 12, 2012

Kies එකෙන් බෑ කියලා බ්ලොක් කරපු Samsung Galaxy වලට අලුත් OS දාන්න ලේසි විදියක්.

    අඩේ ඔන්න ඉතින් ආයෙත් කැම්පස් වල කේස් වගයක් පටන් අරන්. දැන් ඉතින් හරි ආයෙත්. අපේ එකෙත් මොකක්දෝ හුට්ටප්පරයක් පටන් ගන්න වගේ යන්නේ. කරන්න දේකුත් නැති නිසා ඔන්න ඔහේ ආවා එන්න ගෙදර. දවසම නිදාගත්තු එක තමා කලේ. පොඩ්ඩක් ආවා මේ පැත්තේ. එතකොට තමා මේ බ්ලොග්ගෙට ලියන්න දෙයක් මගේ කම්පනාවට ආවේ.

   කට්ටිය දන්නව ඇතිනේ මමත් ඇන්ඩ්‍රොයිඩ් බට්ටෙක් ගත්තා කියලා බලා ඉඳලා ඉඳලා. බට්ටා අරන් ඉතින් පහුගිය ටිකේම කරේ ඕකේ තියෙන හුට්ටප්පර ටික බල බල කරන්න පුලුවන් හැම මගුලම කර කර බලපු එක තමා. (පහුගිය ටිකේ ඉතින් බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ම  ඇන්ඩ්‍රො උණ හැදිලා අසනීප වුනානේ). :P

ගැලැක්සි පවුල
    දුප්පතකමට ගත්තු හුට්ටප්පරෙත් දාන්න තියෙන හැම කෙහෙම්මලක්ම එබුවා කියහන්කො. තව එකයි ඔබාගන්න බැරි වුනේ. :P

    ඕකේ තිබුණු ඇන්ඩ්‍රො වර්සන් එක සීතල යෝගට් (Froyo). :D ඉතින් මම පොඩි එකාටත් ඕනේ වුනා ඕකට ඉඟුරු පාන් (Gingerbread) දාගන්න. 
(පෝරං සයිට් වලයි ඇරීනා අක්කයි කට්ටියම කියලා තිබුණනනේ මිනියට (මූට) ඉඟුරුපාන් කවන්න පුලුවන් කියලා.) දන්න කියන උන්දලාගෙන් අහලා බැලුවා කොරන විදිය. 
    අපේ ගයන්ත මලයත් උගේ ටූල් එකට පාන් කවල තිබුණ හන්දා ඒක අහලා මටත් සෑහෙන්න උණක් තිබුනා මගේ මෙවුවා එකටත් පාන් කවන්න. මොකද Froyo උඩ දුවන්නේ නැති සමහර ඇප් කෑලි පාන් වලට ලස්සනට දුවනවා. 

     ඉතින් අපේ ගයන්ත මලය කියාපු විදියට මමත් සැම්සුන් කයිය එහෙම දාගෙන වැඩට බැස්ස බලන්න. අම්මට සිරි මේ යකා කියාපිකෝ මගේ එකත් එක්ක ඕවුවා ඔට්ටු නැහැ කියලා. යකා කිවුවේ ගයන්තයා නෙමේ kies එක. :P 
බෑ කියන එකමයි වැඩේ
    මල අතේ. කඩුද අයියෝ මොනරු බර ගාණක් දීලා ගත්තු එක අප්ඩේට් කරන්න නොදෙන එකා. x-(    
පස්සෙ තමා මතක් වුනේ. ෆෝන් එක විකුණපු උන් එහෙමත් කිවුවා මේක අප්ඩේට් කොරන්න ඔට්ටු නැහැ කියලා.  :(

      ඒම කියල කෝමද මට මේකට පාන් කවන්නම ඕන. :@

     අන්තිමට ඉතින් තිබුණ විසදුම වුනේ කස්ටම් රොමක් දාන එක තමා. එක්කො බීටා එකක් ඇදලා අතඅරින එක. ඒත් ඉතින් වැදූ මවු දෙන එක තරම් වෙන එකක් ගැන විස්වාසෙ තියන්න පුලුවනෑ :D 

       ඕන ඇටිකෙහෙල් ගෙඩියක් කියලා ගූගල් දෙයියන්නාන්සේට බාරයක් ඕප්පු කරලා ඇදලා ඇරියා පූජාවක්.  හෙන ගහපං කිවුවලු. මේං මේ යෝදයා දීලා ඇදලා ඇරපි තඩි දිග පෝරං එකක්.

     කවද කාපු ටකරංද කිවුවලු. කැම්පස් එකේ දෙන කඩ්ඩ ටියුට් එකක්වත් කියවන එකෙක්යැ මම. :D අනේ හත්තිලවුවේ ඒත් ඉතින් වෙන මක්කොරන්නේයි පාන් කන්න නං කියවපං කියපු හන්දා කොනක ඉඳන් පටංගත්තා වැඩේ.

හරී බඩු හම්බුණා :D

      නෑ බොලවු. මම වගේම පාං කන්න ආසාවෙන් ඉඳපු උන්දැ කෙනෙක් කොරාපු වැඩක් ගැන යස අපූරුවට විස්තර කරලා තිබුනා ඒකේ. බැලින්නං පොරත් සිරි ලංකාවෙ ඩයල් එකක්. අපේ අයියලා ඉතින් දක්සයෝ නොවැ. ;) 

     මේන්න මෙහෙමයි වැඩේ යන්නේ. හැබැයි මේක කරන්න පුලුවන් මං හිතන විදියටනම් සැනසුම පෝං වලට ඉතරයි. :D

    සමහර සැම්සුන් ඒවුවා කයියට ගැහුවම පෙන්නන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අප්ඩේට් කරන්න ඕට්ටු නැහැ.

     මුලින් මේකට ගේම දෙන්න ඕනා. ඒ ගේම දෙද්දි ඔයාගෙ සබ්බ සකල මනාවම නැතිවෙනවා. ආං ඒ නිසා ගේම දෙන්න කලින් කාමරයක් අරන් ෆෝන් එකේ තියෙන අරවා මෙවුවා ටික "පස්ස උස්සලා" එකක් ඒ කිවුවේ  බැක් අප් එකක් (සිංහලෙන් backup) ගන්ට ඕනේ. නැත්තං මල හුට්ටප්පරයයි.

     ඒ නිසා මුලින් පස්ස උස්ස ගන්න. :D කයිස් එකෙන් පස්ස උස්සන්න ගියොත් ඔයාගේ සුවිටි පැටියා ඔයාට  එවුව ඇස් ඇම් ඇස් මැසේජ් ටික බේරගන්න බැරි හන්දා මේන් මේ පෝං ඇස්පෝලර් එක දාලා මේකෙන් පස්ස උස්සගන්න. :D 
මෙයා ඔයාගේ ඇප් කෑලි ටිකත් බේරලා පස්සත් උස්සලා දෙයි. :D

    හරි දැන් ඉතින් පස්ස ගානට උස්සගත්තනං වැඩේට බහිමු. දැන් මෙහෙමයි. ඔය "This device can't update via Kies" කියන එක එන්නේ ඔයාගේ පෝං එක තියෙන මොක්කද මන්දා සෙටින්ස් හුටප්පරයක් හන්දලු. CSC කෝඩ් ද මොකක්ද මන්දා කෙහෙල්මලක්.


    රට රටට ගැලපෙන සෙටින්ස් වගයක් වෙන්න ඕන මේ කියන්නේ. සමහර එවුවට අප්ඩේට් දෙන්නේ නැත්තේ මේ කෝඩ් එක සැට්කොරලා තියෙන සෙට්න්ස් වලට අප්ඩේට් කරන්න ඔට්ටු නැති හන්දාලු.

       දැන් ඉතින් හරිම සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ. මාරු වීම. බය වෙන්න එපා මම දන්න තරමින් මෙහෙම මාරු වුනා කියලා  වෙන කිසි අවුලක් වෙන්නේ නැහැ.
පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ මට වගේ වොරන්ටියට කෙල වෙන එක විතරයි.( ඒකත් තාම සුවර් නැහැ ). :P

 සෝ එහෙනම් අපි මාරු වෙමු.

     ඔයාගේ පෝං එකේ IMEI අංක තහඩුව ඕනේ. ඒක හොයාගන්න දන්නේ නැත්තං ඉතිං 
*#06# 
ඔබලා හරි, මෙනුවෙන් හරි මොන අහවල් එකෙන් හරි අංකෙ ගන්ඩ.

     හරි දැන් ලෑස්තියි. දැන් අර අංක කෑල්ල ලියාගත්තු කොල කෑල්ල අතට අරන් පෝන් එකේ මේන් මේ නොම්මරේට අමතන්න ඕනේ

 *#272*IMEI#
(IMEI කියන කොටස වෙනුවට ඔයාගෙ IMEI අංකෙ ගහන්න) 

ඕන් අයේ කිවුවා. බැකප් නැත්තම් බැකප් එක අරන් එනවා හොඳයි. මේකෙන් ෆෝන් එක රී සැට් වෙනවා. ඕන නොකිවුවා කියන්න එපා. :D

      ඔන්න ආවා CSC මෙනුව. 

     ඕකේ ඇති කෝඩ් බරගානක්. හ්ම්. බය වෙන්න කාරි නැහැ. ඕකේ යටටම යන්ට. යටම තියෙනවා GLB කියල එකක්. ආං එතනට සැට් කොරලා Install කියන බොත්තම එබුවම බුවා අහයි කොරන්න ඕනමද කියලා. 

සර් ලාස්ට් චාන්ස්! 
බෑ වගේනම් බයයි වගේනම් මෙතනදි තමා වැඩේ අත අරින්න පුලුවන් අවසාන අවස්ථාව. කැමතිනං ආයෙ හැරිලා ගියත් අපි තරහ වෙයි. :P

     හ්ම්. දැන් ඉතින් ‍පෝන් රාජයා ඉන්ස්ටෝල් එකත් කොරගෙන ආයෙම පණ ගහල ඒවි. ආ කෝමද ගත්ත දවසේ වගේ තියෙන අපූරුව :P  පෝං එක රීසෙට් වෙලා බන්. :D

    සරි දැන් ඉතින් ඔයාගෙ කොම්පීටරේට ඉන්ටර්නෙට් එහෙම අමුණලා කරලා ගන්නකො. ඊට පස්සේ ෆෝන් එකත් කේබල් එකෙන් අමුණ ගන්න ඕන කොමාටම. 

     හැබැයි ඔන්න මතක තියාගන්න. බැටරිය ෂුවර් නැති ලැපකින් හෝ යූපී ඇස් එකක් නැති ඩෙස්ටොපකින්වත් මේ වැඩේ කරන එකනම් එච්චර ඇඟට ගුණ නැහැ. මොකද ෆෝන් එක සදහටම දොයි බබා වෙයි. ත දෙයක් මේ වැඩේ කරන්න මම වින්ඩොස් හත 64 ලැපකින් ට්‍රයි කරා. මල හුට්ටප්පරයක් වෙලා ඉවර වෙලා බෑ කියල අත ඇරලා දානවා. සෝ මං කියන්නේ වින්ඩෝස් ඇක්ස් පී වගේ පොරක් එක්ක ගේමට බහින එක තමා සුවර් කියලා. ඒවගේම සුවර් මැසිමක් වෙන්නත් ඕන. හිටිගමන් ගල්වෙන කොමාලා එක්ක මේ වැඩේ කොරන්න ගිහිල්ලා අල කරගන්න එපා. ඕන් මට බෑ බේරගන්න. :-/

     රායිට් දැන් කයිය ඕපන් කරගමු. බුවා ෆෝන් එක රීඩ් කරලා නෙට් එකෙත් අලවෙලා විනාඩියෙන් විතර එයි.  

         ආ දැක්කද දැන් අර බෑ කිවුව එක දැන් පුලුවන් කියන හැටි. මුලින්ම බලන්නේ කයිස් එක අප් ටු ඩේටඩ්ද කියලා. බැරිවෙලාවක් පරණ කයියක් නම් බුවා කියයි කයිය පරණයි, අලුත් කයියකට අප්ඩේට් එක දාලා ‍‍ඊට පස්ටස ෆෝන් එක අප්ඩේට් කරගනින් කියලා. එතකොට ඒම කරන්න. :D

      හ්ම් කයිය අප්ඩේට් වුනාට පස්සේ ඔයාගෙ පෝං එකට හරියන අලුත් වර්සොන් එකක් තියේනම් මෙහෙම මැසේජ් එකක් ඒවි. හ්ම් බය වෙන්න දෙයක් නැහැ. මවු සමාගමෙන් දෙන සුවර් බඩුවක්නේ. ;) 
අප්ඩේට් එකක් තියෙනෝ!!
ඉදිරියට යනු!

        ඕම ඉස්සරහට යන්නයි තියෙන්නේ "ඉදිරියට යනු" කියලා විධාන කර කර. එක කොට නෙට් එකෙන් බාලා දාලා ගහලා ඔයාගෙ ෆෝන් එකට හරියන පාන් ගෙඩියක් ඔබලා දෙයි.


හරේ මෙන්න වදිනවා. :D

    කොයිම වෙලාවකවත් වැඩේ ඉවරයි කියලා පණිවිඩයක් එනකම් පෝන් එක ගලවන්න එපා කේබල් එකෙන්. ෆෝන් එක මේසෙ උඩ තියලා ඌට වැඩේ කරගන්න ඇරලා ඔයා පාඩුවෙ වෙන දේ බලන්න ඉන්න. :P

සේරම හුට්ටප්පර  ඉවර වුනාම පෝන් එක පණ ගහල එයි. :D 

    දැන් ඉතින් About Phone කියන කාමරේට ගිහිල්ල ගේම බලාගන්න පුලුවන්. ;)

     අන්තිමට ලිඳට වැටිච්ච එකා ලිංකටින්ම ගොඩ එන්න ඕන හන්දා අර උස්ස ගත්තු පස්ස පාත් කරගන්න. ඒ කිවුවේ බැකප් එක රී ස්ටෝ කරගන්න. මයි පෝන් ඇස්පෝලර් එකෙම්ම ඒ වැඩේ කොරගන්ට පුලුවන් :D

-සාරාන්සේ-
   මම මගේ පෝන් එකටයි පොඩි හසීගෙ ෆෝන් එකටයි මේ ඔපරේසම කලා. ඒ නිසා අත් දුටුවයි ප්‍රත්යක්සයි :D
කස්ටම් හෝ බීටා රොමක් ගහනවට වඩා ඔරිජිනල් එකක් දාගන්න එක බඩු සුවර්නේ ;)

ජය වේවා!!! කතාව අදට ඉවරයි. වොරන්ටියත් ඉවරයි :D

ප/ලි
මාකට් එක පැත්තේ ගියාම සපෝර් කරන්නේ නැහැ කියල පෙන්නන සමහර ඇප් මැනුවල් ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටෝල් කරාම දුවන්නත් ඉඩ තියෙනවා අලුත් එවුවයේ. :)

ප/ප/ලි
අපේ බ්ලොග් සෙට් එකත් පහුගිය ටිකේ පිස්සුම ආතල් එකක් අරන් තිබුණා. යන්න වුනේ නැහැ නෙව. බලමු ඊගාව එකටවත් යන්න.