Saturday, August 20, 2011

වෙනස් වෙන ලොකේ වෙනස් වෙන මිනිස්සු

    කෝ බලන්න කාටද වැඩියෙන්ම හොඳම යාලුවො ඉන්නෙ? තුනක්? හතරක්? හේ හේ... හොඳම යාලුවෙක් කියල විශේෂ කෙනෙක් නැති අයත් ඇති මං හිතන්නෙ. එහෙම නේද? ඇත්තටම කවුද හොඳම යාලුවෙක් කියන්නෙ? යාලුවො අතරෙ විශේෂයෙන් මෙහෙම හොඳම යාලුවෙක් කියලා ගරුනම්බු නාමයක් ඒහෙම කෙනෙකුට දෙන්නෙ ඇයි කියලා කාට හරි කියන්න පුලුවන්ද?

    අපි යමක් කමක් තේරුම්ගන්න පුලුවන් කාලෙ ඉඳලා මැරෙන මොහොත වෙනකම් විවිධාකාර මිනිස්සු ආශ්‍රය කරන්න අපිට ලැබෙනවනෙ. පුංචි කාලෙ අම්ම තාත්තා ඇරැණම පවුලෙ හිතවතුන් ඒ අයගේ දරැවො එක්ක එහෙම අපි හිතවත්කම් ඇති කරගන්නවා. පාසල් යන්න පටන් ගත්තම යාලුවො කියල කට්ටියකුත් මේ සෙට් එකට එකතු වෙනවා. ඊගාවට ගමේ යාලුවො. පාර තොටේදි හමුවන හිතවතුන් එහෙම. අප්පේ ඉවරයක් නැහැ.

    ඉතින් මෙහෙම හම්බවෙන විවිධාකාර මිනිස්සු අතරෙ හැම ජාතියෙම මිනිස්සු ඉන්නවනේ. ඔයාලට කොහොමද කියන්න මං දන්නෙ නැහැ. මම නම් විවිධ තරාතිරම් වල එක් එක සමාජ පන්ති වලට අයිති යාලුවෝ ආශ්‍රය කරල තියෙනවා. මං හිතන්නෙ ඔයාල හැමෝම වගේ එහෙම ඇති. මොකද මේ සමාජායේ අපිට විවිධාකාර මිනිස්සු හම්බ වෙනවනේ එක එක වෙලාවල් වල. ඒ කොහොම කවුරු හම්බ වුනත් අපි ඒ කුලකය අතරින් අපේම කියල උප කුලකයක් ගොඩනගා ගන්නවා. අන්න ඒ සීමාව ඇතුලේ අපි අපේ ගොඩක් අදහස් බෙදාහරිනවා. කොටින්ම ඕනම දෙයකට එකට ඉන්නෙ අන්න ඒ සෙට් එක තමයි. බොහො වෙලාවට ඒ සෙට් ඒකට ඇතුල් වෙන්නෙ නිතර මුණ ගැහෙන යාලුවො කීප දෙනෙක්. පාසලේ, ගමේ ඒකකෝ කැම්පස් එකේ. අන්න ඒ වගේ සෙට් එකක්. ඒහෙම නේද?

    දැන් මේක කියවන අය බලයි මම මේ මොකක්ද කියන්න යන්නෙ කියලා. මට ඇත්තටම කියන්න ඕනෙ මේකයි. ඔයාලා කවුරුහරි විඳල තියෙනවද හොඳම යාලුවෙකුගෙ වෙනස් වීමක්? මෙක් කාටවත් මඩක් ගහන්නවත් අපහසුතාවයට පත් කරන්නවත් නෙමෙයි. මම කියන්න යන්නෙ මට දැනුන හැඟිමක්. ඉතින් අන්න එහෙම එකටම ඉඳපු යාලුවෙක්ගෙ වෙනස් වීමක් කවුරු හරි අත් විඳලා තියේනම් අන්න ඒයාලට තේරේවි මම කියන දේ!

    හොඳ යාලුවෙක් කියල ජීවිතේ තැනක් දීලා තියපු මනුස්සයෙක් එක පාරට වෙනස් වෙලා තමන්ගේ දෙවල් වලින් තමන්ටම පහර ගහන් පටන් ගත්තොත්, ඔයාගෙ ජීවිතේ ගැන එයා දන්න රහස් හරි එහෙම නැත්තම් ඔයා එයා එක්ක තව කෙනෙක් ගැන කියපු දෙයක් හරි එහෙම නැත්තං ඔයාගෙ අඩුපාඩුවක් හරි ආයුදේ කරගෙන ඔයාට ඇටෑක් එකක් දෙනකොට ඔයාගෙ හිතට එන හැඟීම මොන වගේ වෙයිද?  මොකද මිනිස්සු හරි ඉක්මණට වෙනස් වෙනවා. විශේෂයෙන් තමන්ගෙ වාසිය වෙනුවෙන්. මනුස්ස ස්වභාවය ඒක්නේ. බාහිර බලපෑම් හන්දා වගේම තමතමන් මවා ගන්න විවිධ මනෝ විකාර හන්දත් සමහර වෙලාවට කිසිම සාධාරණ හේතු නැතුව මිනිස්සු වෙනස් වෙනවා. මේක මම විතරක් මුහුණ දෙන අත්දැකීමක් නෙමෙයි කියල මම දන්නවා. මොකද මේ වගේ කතන්දර මේ බ්ලොග් අවකාශයෙන් ඒන තරම් සොයාගන්න පුලුවන්. මොකද කියනවනම් අපි හැමෝම මේ ජීවත් වෙන "ශ්‍රී ලංකාව" කියන සමාජ රාමුව තුල මේ වගේ සිදුවීම් දුලබ නැහැනේ.

    කොහොම වුනත් හැමදේම රේස් එකක් වෙලා තියෙන මේ ජීවන රටාවත් එක්ක අම්ම තාත්තව හරි පාගගෙන ඉස්සරහට යන්න බල එක අරුමයකුත් නෙමෙයි. මොකද මේ යන විදියට මොන ක්‍රමයෙන් හරි ඉස්සරහට  ගිය එකා දිනුම්. හැම තැනම වගේ අපිට දකින්න තියෙන්නෙම කොලේ වහල ගහන ගේම්. හැබැයි ඉතින් අනික් මිනිස්සුන්ව පෙරලගෙන දුවලා හෝ මානසිකව වට්ටලා ඒ අය ලබන දිනුමෙන් නම් කිසි පලක් නැහැ කියල තේරුම් ගන්නව නම් අන්න ඒකත් වටිනවා. සමහර වෙලාවට ඒ අය ඔය පෙරලගෙන දුවන්න හදන්නෙ එයාලට අභියෝගයක් එල්ල කරන්න තියා තමන්ට දුවාගන්නවත් හයියක් නැති කෙනෙක්ව වෙන්න පුලුවන්. එහෙම වුනොත් අන්තිමට ඒ අහිංසකයට තරඟෙ ඉවරකරගන්වත් බැරි වෙනවා. එහෙම වුනොත් අර කට්ටිය ලබපු ජයග්‍රහණෙට දෙන අර්ථය මොකක්ද?

    අනික මම දැකල තියෙන දෙයක් තමයි ඉස්සෙල්ල ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙන එක. සමහරු තමන්ට නැති බැරි කාලෙ ලඟින් හිටපු අයව තමන් හොඳ තැනකට ගියාට පස්සෙ අමතක කරලා දානව විතරක් නෙමෙයි තමන් ආපු තැනට එයාලටත් එන්න තියෙන පාරත් වහල දානවා. එහෙම වෙන්න හේතුව ඇයි කියල මට තාමත් හිතාගන්න බැහැ. මොනව වුනත් මේ ජීවිත කාලෙ හරිම පොඩ්ඩයි. කවදා කොහොම යන්න වේවිද කියලා කවුරැවත් දන්නෙ නැහැ. අන්න ඒ නිසා යන කෙනෙකුට තමන්ගෙ පාඩුවෙ යන්න දීලා ඔයාලා අපිත් අපේ අපේ ගමන් තමන්ගේ පාඩුවෙම යමු නේද?


10 comments:

  1. බොහොම හොඳ පෝස්ට් එකක් ........
    මට නම් ඕන තරම් අත්දැකීම් තියනවා .....
    කොහොම උනත් මලයා හෙන හිතේ අමාරුවෙන් ලියපු බව නම් පේනවා, ගනන් ගන්න එපා ඔහොම මිනිස්සු සමාජෙ ඕන තරම් ඉන්නවා .....

    ReplyDelete
  2. මේ වගේ අත්දැකීම් වලට මම මුණ දිලා නැති වුනත් මගේ යාළුවෝ කීපදෙනෙකුට මේ වගේ සිදුවීම් නිසා ඇති වුන හිත් රිදවීම් අහගෙන ඉදලම මම මගේ හැම යාළුවෙක්ම මගේ හිතේ සීමාවක් ඇතිව තමා ඇසුරු කරන්නේ. මේ වගේ යාළුවෙක් හිත් රිද්දනකොට දරගෙන ඉන්නනම් අමාරුයි තමා අයියේ ඒත් ඒ දුක ඔයාගේ ජීවිතේට හයියක් කරගෙන ජීවතේ ජයගන්න. එදාට ඒ හැමෝටම වඩා ඉදිරියෙන් ඔයා ඉදිවී.

    වෙනස් වෙන ලොකේ වෙනස් වෙන මිනිස්සුත් එක්කම අපිත් වෙනස් වෙමු හොඳ ගතිගුණ තියාගෙන.

    ReplyDelete
  3. මේක හිතට වැදුනු පෝස්ට් එකක්.වෙන දෙයක් නිසා නෙමෙයි සමහරක් හේතු නිසා මමත් මේ විදය එකක් ලියන්න හිටිය...අනේ මන්ද ..එහෙම යාලුවො වෙනස්වෙන්න එක එක හේතු ඇත සමහර විට. නමුත් ඒ වෙනස්වීම් මටත් සමහර වෙලාවට හිතට ගොඩක් අමාරුයි

    ReplyDelete
  4. ඉතින් එහෙම වෙන්න එපැයි නැත්තං හැමදාම එකම තැන...

    ReplyDelete
  5. බොහොම සාමාන්‍ය දෙයක් බං.. මම නම් එහෙම දෙයක් දැනුන ගමන් කරන්නේ ඒකාව අතඅරින එක. මොකද බොරු යාලුවෝ 100ක් තියාගන්න එකට වඩා එක හොඳ යාලුවෙක් තියාගන්න එක මට වටිනවා..

    ReplyDelete
  6. දැනට මෙහෙම දේවල් විඳලත් තියනවා, ඉස්සරහට විඳින්නත් වේවි..මොනවා කරන්නද සමාජයේ හැටි තමා

    ReplyDelete
  7. මට නම් හොදම යාළුවෙක් කියලා නෑ. හැමෝම එක වගේ.
    අර කිව්වත් වගේ අපේ යාළුවෙක්ගේ පොඩි හරි වෙනස්කමක් හොදට හොයන්න පුලුවන්.

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  9. මිනිස්සු විවිධාකාරයිනේ..

    ReplyDelete
  10. දේව්දාස් ටත් හොඳම යාළුවා කියල කෙනෙක් නෑ... මටත් යාළුවො නිසා නම් ගොඩාක් දේවල් නැති වෙලා තියෙනවා... ඉස්සරහටත් එහෙම වෙයි... ඒත් දේව්දාස් හැමදාම යාලුවොන්ට උදව් කරනවා... මොකද ඒ පිනෙන් වත් ඊළඟ ආත්මේ හොඳ යාලුවෙක් ලැබෙයිනෙ...

    දේව්දාස්...

    ReplyDelete