Friday, March 9, 2012

ගෙදරදිම කොත්තුවක් දාමුද?

-*-
        වැඩිය කවුරුත් නෙදෙන්නවා උනාට ඔය කෝච්චි වලට අමතරව මගේ තව තව විනෝදාංශ කිහිපයක්ම තියෙනවානේ. එයින් එකක් තමා ඔය උයන පිහන වැඩ.  හැබැයි ඉතින් බ්ලොග් අවකාසෙ ඉන්න අපේ මාරයා අයිය වගේ දක්ස කෝකියෙක් වෙන්නනං මට බැරිවා ඕං.කෙහොමින් කොහොමින් හරි ඔන්න ඊයේ ගෙදර ඉන්දෙද්දි පොඩි අයිඩියාවක් ආවා මොකක් හරි කෑමක් ගෙදරදි හදාගෙන කන්න. එවුවා ගියාවෙකො. ආයේ මොකක්ද ඉතිං කෑමකි කියද්දි ඔලුවට ආවේ කොත්තු තමයි. මාත් අතෑරියෙ නෑ. හදලා කෑවා. පින්තූරයක් බුකියේ දැම්මා නිකං ජොලියට වගේ. අප්පේ ඒකට ආපු ප්‍රතිචාර. :D කැමති අය මෙතනිං ගිහිල්ලා බලාගෙන එන්නකෝ.

        කොත්තුවක් කඩෙන් ගන්න එක ලේසී පහසුයි වුනත් ඉඳල හිටලා කොත්තුවක් ගෙදර හදාගත්තොත් ඒකෙත් පොඩි ගතියක් තියෙයි. හරි දැන් වැඩි කතා ඕනේ නෑ බලමු කොහොමද කොත්තුව දාගන්නෙ කියලා. මේ දාලා තියෙන්නෙ දෙන්නෙකුට යන්තමින් සෑහෙන්න ඕනි බඩු. ගාන වැඩි වෙනවනං ඉතිං බඩුටික වැඩිකරගන්න වෙයි ඕං.

අවශ්‍ය ද්‍රව්‍ය:-
     ගෝදම්බ රොටි 6ක් (ගෝදම්බ රොටිත් ඕනෙනං ගෙදරම හදාගත්තැකි),
     මස්/ මාළු/ බිත්තර (එකක් හෝ දෙකක්),
     කැරට් (පොඩි ගෙඩියක්), 
     ලීක්ස් කොලයක්, 
     ගෝවා කොලයක්, 
     තක්කලි(පොඩි ගෙඩියක්),
     මාජරින් හෝ පොල්තෙල්, 
     සුදුළූණු බික් දෙකක්, 
    මිරිස් කරල් දෙකක්, 
    ඉඟුරු, 
    රම්පෙ සහ කරපිංචා (පොඩ්ඩක් ඇති), 
    මිරිස් කුඩු හෝ කෑලි මිරිස් (සැර ඇති පදමට), 
    සෝස් (තක්කලි), ලුණු කුඩු

පින්තූරෙ මෙතනින්


        හරි දැන් ඔය බඩු ටික ලංකරගත්තානං වැඩේ පටන්ගමු. ආ. කියන්න අමතක වුනානේ. මේ වැඩේට ගෑස් ලිපකුයි පැතලි අඩිය තියන භාජනයක් තියේනං වැඩේ ලේසීයි. මොකද ගෙදර කොත්තු තැටි ගහන එක ප්‍රායෝගික නැහැනේ. පුලුවන්කම් ඉතින් තැඩියක් ගත්තත් මොකද? හැබැයි පොල්කටු හැන්දක් නැතුව පුලුවන්නං ලෝහ හැන්දක් ගන්න ටිකක් හයිය තියෙන එකක්. :P

        දැන් ඔය ගත්ත බඩු වලින් ගෝදම්බ රොටි ටිකයි එලවළු ටිකයි අරන් පුංචි කෑලි වලට කපාගන්න ඕනේ. (කැරට්, ගෝවා, ලීක්ස්, මිරිස්, සුදුළූණු). මස් හරි මාලු හරි ගන්නවනං ඒකත් පොඩි කරගත්තොත් ලේසියි. දැන් භාජනේ ලිපේ තියලා ගින්දර ලාවට වගේ තියලා රත් වෙන්න අරින්න. ගින්දර වැඩිකරගන්න එපා කොත්තුව කරවෙයි. රත්වේගන එද්දි මුලින්ම මාජරින් හෝ පොල්තෙල් මේස හැඳි තුනක් තැටියට දාලා ඒකත් හොඳ රත්වෙන්න පොඩි වෙලාවක් තියන්න. හොඳට රත්වුනාම මුලින්ම ඒකට ඉඟුරු ටිකයි සුදුළූනු ටිකයි දාලා ටිකක් විතර දුඹුරු පාට වේගන එද්දිම ඒකට කපාගත්තු එලවලු සහ අනෙක් අඩුම කුඩුම ටික එකතු කරගන්න. ගින්දර අවශ්‍ය පමණට තියාගන්න එක වැදගත්. වැඩි වුනොත් කරවෙයි ඒ වගේම තමා අඩුවෙන් තිබ්බොත් අමු ඒවා තමා කන්න වෙන්නෙ. :P

        එලවලු ටික හොඳට තැම්බීගෙන එද්දි හොඳ සුවඳක් එනවා. ම්ම්ම්... හරි දැන් බිත්තරේ දාමු. :P එක දෙයක් තියෙනවා. බිත්තරේ එකපාරම කඩලා කෙලින්ම කෑම එකට අතාරින වැඩේ තවදාවත් කරන්න එපා. මොකද බිත්තරේ නරක් වෙලා තිබ්බොත් අනික් සේරම බඩු අපරාදේ. ඒ නිසා පොඩි භාජනේකට බිත්තරේ කඩලා එතනින් මේ මිශ්‍රණයට එක් කරන්න. මස් හෝ මාලු කොත්තුවක් දාන්න යනවනම් ඒවත් මේ වෙලාවෙදි එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඒකට වුනත් බිත්තරයක් දැම්ම කියල පාඩුවක් වෙන එකක් නෑ.

        මිශ්‍රණය හොඳින් කලවම් කරන එක නොනවත්වා කරන්න ඕන. හරි. දැන් කපාගත්තු ගෝදම්බ රොටි කෑලි ටික ක්‍රමයෙන් එකතු කරමින් හොඳින් කලවම් කරන්න. හොඳින් කලවම් වුණාට පස්සේ ලුණු කුඩු ටිකක් රසට ඇතිවෙන පදමට එකතු කරගන්න. තේ හැදී බාගෙකටත් පොඩ්ඩක් අඩුවෙන් ගත්තනං ඇතිවෙයි. ඕනනං ලුණු කුඩු ටික මුලින්ම මිශ්‍රණයට දාගත්තත් කමක් නෑ. මිශ්‍රණය හොඳින් කලවම් කරගත්තට පස්සේ ඕනනං සෝස් මේස හැඳි දෙකක්, මස් හෝ මාලු කරි මේස හැඳි තුන හතරක් එකතු කරලා කලවම් කරගත්තොත් රස තවත් වැඩිවෙයි.

        හරි දැන් ඉතින් උණුවෙන්ම පිලිගන්නන්නයි තියෙන්නෙ. ඕනනං සරසලාම මේසෙට යවන්නකො. :D ඔය සයිබර් මහත්තුරු නිවාඩු දවසට කොත්තුවක් එහෙම හදලා නෝනට දීලා බලන්න. කොත්තුව කාලා නෝනා තොත්තුවක් එහෙම දෙන්නත් බැරිනෑ. :D (රසේ අවුලක් වෙලා ඕන් මොනව හරි උනොත් අපි නෑ. :P)
ඕන් මම ගෙදරම දාගත්ත කොත්තුව.
වැඩි විස්තර ඇතුව ටිකක් සංකීර්ණ විදියට කොත්තුව දාගන්න ඕනනං මෙන්න පාර....

එහෙනං අපි ගියා..

9 comments:

  1. ඔයා නියමෙට හදලා තියනව.රහ කොහොමද දන්නෙ නා.බලන්නම්කො ට්‍රයි කරලා.කලින් හදලා නම් නෑ.පිරිමි හැමෝම මෙහෙම උයන්න පුරුදු වෙනව නම් කොච්චර එකක් ද.:)

    ReplyDelete
  2. වෙලාවක හදලා බලන්ට ඕනි

    ReplyDelete
  3. ස්තූතියි මිත්‍රයා! කොත්තු රොටි කියන්නේ මගේ ප්‍රියතම ආහාරයක්. තනිකඩයා කාලේ රෑට වැඩියෙන්ම කෑවේ කොත්තු තමයි. නෝනා ගෙදර නැති වෙලාවක හරි මේක අත්හදා බලනවාමයි...

    ReplyDelete
  4. මාත් ඉඳ හිට ගෙදරදීම හදන කෑමක් තමා...ටිකක් කචල් උනත් ගෙදරදීම රොටියත් ගහගන්න පුළුවන්නං තවත් හොඳයි..මං කලින් නැවතිලා හිටිය ගෙදර කුස්සියේ දිග කොන්ක්‍රීට් ලෑල්ලක ඇළුමීනියම් තහඩු අඩි තුනක් ගහලා මං ඕකටම හදාගෙනත් හිටියා..දැන් ඉන්න තැන රොටියක් ගහන්න තරං ඉඩ කඩ පහසුකම් මදි...ඒත් ආයේ වෙලාවක හදන්න ඕන මොන ගේමක් හරි දීලා...
    බොලාගේ කොත්තුවනං ටිප් ටොප්..මං ඊයෙත් කිව්වනේ...

    ReplyDelete
  5. ගෙදරදි කොත්තුවක් හදාගෙන කෑවොත් නම් සෙට් වෙන්නෙ නැතිවෙයි නේද

    ReplyDelete
  6. :e :h :i මං වැඩිපුරම කෙඩන් ෙගනත් කන කෑමක්ෙන්....මම ඒළවලු වැඩිපුර තිෙයනවට කැමති හැබැයි. :D අයියාෙග් කුකින් මරුෙන් :s

    ReplyDelete
  7. නියමයි, මමත් මාස දෙකකට උඩදී රොටිත් එක්කම ගෙදර හදලා කෑවා. බොරු කියන්න ඕනේ නෑ, කඩේ කොත්තුවට වඩා රහට ආවා. කඩවල් වල ජරාව කනවට වඩා ටිකක් මහන්සි වෙලා මෙහෙම ගෙදරදි හදන් කනවා නම් කොච්චර වටිනව ද? ස්තුතියි සහෝ විස්තරයට !

    ReplyDelete
  8. නියම වැඩේ. මමත් හදන්න ඕනා ගෙදරම

    ReplyDelete