Friday, April 11, 2014

(නමට විතරද) මහත්වරු!!!

http://galenf.com/japan/train04.jpg
දුම්රිය සේවයේ ඉන්න සමහර දෙනෙක් (හැමෝම නෙමයි) හරිම උද්දච්ච අහංකාර සහ කිසිම මානුෂිය ලක්ෂණයක් නැති උදවිය කියල තහවුරු කරන්න හොඳ උදාහරණ විදියට පෙන්නන්න පුලුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයො කිහිප දෙනෙක් අද උදෑසන සාගරිකා දුම්රියට ගොඩවුනා.ඔවුන්ගේ දඩයම් අතර පන්ති වලට හෝ උසස් අධ්‍යාපන ආයතන වල ළමයි කිහිප දෙනක් සහ අත දරුවන් වඩාගත්ත යුවලකුත් සිටියා මමත් ඇතුලුව. මම කරපු වරද වුනේ තෙවන පන්තියෙ ප්‍රවේශ පත්‍රයකින් දෙවන පන්තියෙ පාපුවරුවෙ ගමන් කිරීම.

මේ හැමෝම දුම්රියේ හොරෙන් ගිය අයනම් නෙමයි. තෙවෙනි පන්තියේ ටිකැට්පත් අතැතිව එහෙත් ඉඩකඩ මදිවීම නිසා එයට ගොඩවීමට බැරිව දෙවෙනි පන්තියෙ ගමන්කල මගීන්. ටිකැට් පරීක්ෂක උන්නැහේලා ඇවිත් හරි උජාරුවෙන් මේ අය තමන්ගේ රැහැනට අහුකරගත්තා. ඔවුන් මගේ සීසන් වාර ප්‍රවේශ පත්‍රයට අමතරව ජාතික හැඳුනුම්පතත් ඔවුන්ගේ භාරයට ගත්තා. ඒ විදියට ජාතික හැඳුනුම්පතක් රඳවාගැනීමේ බලයක් ටිකට් පරීක්ෂක වරුන්ට තියෙනවද කියල නං මන් දන්නේ නැහැ. තමන්ගේ ජාතික හැඳුනුම්පත අන්සතු කිරීමනම් වරදක් කියල මම අහල තියෙනවා. අනන්‍යතාවය තහවුරුකරගන්න මුලාශ්‍රයක් විදියට රේල්ලුවෙන් නිකුත් කරන වාරප්‍රවේශපත්‍ර බහාලනය (Folder) රේල්ලුවෙන්ම පිලිගන්නේ නැති නිසාද ඒ විදියට ජාතික හැඳුනුම් පත රඳවාගන්නේ කියන එකනං මට ගැටලුවක්. ඔවුන් දැනුම් දුන්නේ එම දුම්රියෙන්ම කොටුවේ 11 වේදිකාවට එන ලෙස. කොහොම වුවත් වැල්ලවත්තෙදි සිදුවුන විනාඩි 25ක තිහක ප්‍රමාදයත් එක්ක කොටුවට ලඟා වෙද්දි 8.30ට විතර ඇති. කොටුවේ 11 වැනි වේදිකාවෙ ඇති ගුබ්බෑයමක්ට රැගෙන ගිය මගීන්ගෙන් විවිධ ක්‍රම වලින් දඩමුදල් අය කරගන්න ඔවුන් කටයුතු කරපු විදිය නම් අනුමත කරන්න අමාරුයි. 

පුංචි මිනිස්සුන්ට රැවුම් ගෙරවුම් පාන එක මැද පන්තියේ නිලධාරින්ට හරි ලොකු වීර කමක් වගේ පේන විදියටනම්. ඒ වෙලාවේ දඩයක් ගෙවන්න අතේ මුදල් නොතිබුන නිසා පසුව ගෙවන්න හැකිදැයි ඇසුවාම නිලධාරී මහත්තයට හොඳටම තරහා ගිහිල්ලා මෙන්න මෙයාව පොලිසි ගෙනියන්න ලෑස්ති කරන්න කියලා තග් එකක් එහෙමත් දැම්මා. එතුමට ඒක හොඳට පුරුදු ඇති. ඊට පස්සේ උන්දෑ කියනවා දැන් ගෙවන්න බැරිනම් ඇපයක් විදියට ෆෝන් එක තියල යන්නලු. මනුස්සයෙක්ගෙ අතිශය පුද්ගලික දෙයක් වෙන ෆෝන් එකක් ඇපේකට තියාගන්න ඉල්ලන පහත් තත්වකට වැටෙන්න තරම් මේ මිනිස්සු රේල්ලුවට මාර ආදරෙයි වගේ. (අපි නොදන්න චෙස් කිවුවලු). කොහොම වුනත් මිනිස්සුන්ට හරියට කතාකරන්න උගන්නන්නම් එයාලට හොඳ පුහුණුවක් දෙන්න වෙයි. බහුතරයක් මහත්+වරු මෙහෙම අහුවෙන මිනිස්සුන්ට කතා කරන්නේ නිකං හරියට මිනීමැරුමකට වැරදිකාරයෙක් අල්ල ගත්ත ගානට කියලා හරියටම දැක්කෙ අද. ඔවුන් කතා කරන්නෙම උස් හඬින්. (සමහර විට පොළිස් බලතල එයාලට ඇති.)

ස්ටේසමේ එහාපැත්තේ තියෙන බැංකු ශාඛාවෙ ටෙලර් මැෂින් එක නිසා මම නම් දඩේ ගෙවලා ආවා. සල්ලි තියෙනවට නෙමෙයි. 2500/=ක් හොයන්න දවස් කීයක් මහන්සිවෙන්න ඕනිද කියල දන්නෝ දනිති. එහෙව් එකේ අර වගේ ක්ලාස් එකකට යන ළමයෙක් බය කරලා, එහෙම නැත්තං අතදරුවෙක් වඩාගෙන බැරිකමට දෙවෙනි පන්තියෙ යන අම්මෙක් බය කරලා තග් එක දාලා දඩේ සල්ලි බලෙන් ගන්න එකනම් හරිම කැතයි . ඒ කිසි කෙනෙක් පුරුද්දක් විදිහට හෝ දිනපතා කෝච්චියෙ යන එන අය නෙමෙයි. (පුරුද්දක් විදියට හොරෙන් යන අය කවදාවත් මේ මහත්වරුන්ට අහුවෙන්නෙ නැති එක තමයි පුදුමය කාරනාව) 

මොකක් වුනත් මොන වරදක් කලා වුනත් රැවුම් ගෙරවුම් පාලා කැත විදියට මිනිස්සුන්ට කතා කරන එකනං ටිකක් හරි මදි වගේ නේද? අනික තුන්වැනි පන්තියෙ ප්‍රවේශ පත්‍රයක් තියෙද්දිත් ඒ කෙනාට සාමාන්‍ය දඩ මුදලම අය කරන එකත් මොන තරම් සාධාරණද කියන එකත් සාකච්ඡාවට ලක්වෙන්න ඕන කාරණයක්. (අනික ලංකාවෙ කෝච්චි වල නං ඉතින් ඉලක්කමේ වෙනස ඇරෙන්න දෙවෙනි සහ තෙවෙනි [E class] දෙකේ වෙන මොන වෙනසක්ද කියලා උදේ හවා කෝච්චියෙ යන එන පුංචි එකෙක්ගෙන් ඇහුවත් කියයි.)

අන්තර්ජාලයේදී හෝ ඉන් පිටතදි පවා හෝ වෙන යම් විදිහකින් රේල්ලුවෙ යහපත වෙනුවෙන් සිතිවිල්ලකින් හරි රේලලුවට හොඳක් වෙන දෙයක් කරන්නයි අපි උත්සහ කරන්නේ. ඒ වගේම රේල්ලුවෙ ගැන එදිනෙදා මුනගැහෙන සාමාන්‍ය මිනිස්සු අතරේ තියෙන අයහපත් ආකල්පය ටිකක් හරි හොඳ පැත්තට හරවන්න අපි නිතරම උත්සහ කලත් මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අපි එහෙම කරන්නේ මේ වගේ අමනුස්සයන්ගේ බඩගෝස්තරේ ලබාදෙන ආයතනය වෙනුවෙන් නේද කියලා. එහෙම හිතෙද්දි හිතට එන්නෙ නං මහ කාලකණ්නි කමක්.

දුම්රිය සේවයේ ඉන්න වැඩවසම් යුගයේ නිළධාරින්ගේ හිතට යහපත් අයුරින් කටයුතු කරන්න හිතෙන, රේල්ලුවට යහපත් කාලයක් උදාවෙන දවසක් නම් පේන තෙක් මානෙකවත් නැහැ වගේ.


7 comments:

  1. //මිනිස්සුන්ට හරියට කතාකරන්න උගන්නන්නම් එයාලට හොඳ පුහුණුවක් දෙන්න වෙයි//

    ඒ හරිය නං අන්තිමයි , තමුසෙ ඔයි කිියල තමයි කතාව

    කාලකන්නි හැත්ත ජරාව කනව බං හොදට

    ReplyDelete
  2. ඒකනං ඇත්ත තමයි

    ReplyDelete
  3. මටත් ඕකුන් පේන්න බෑ. කාලකන්නි. ඉස්කෝලේ ළමයින්ගෙන් එහෙම හොඳට ගලවනවා. කතා කරන්නේ උන්ගේ ගෙදර බල්ලට කතා කරනවා වගේ. හැමදාම හොරෙන් යන කාලකන්නි මුන්ට පේන්නෙත් නෑ දැක්කට අල්ලන්නෙත් නෑ.

    ReplyDelete
  4. කථාව ඇත්ත. ඒ අය කථා කරන්නෙ අපි ලෝකෙ තියන ලොකුම වරද කලා වගේ. ඒත් හැමදාම පුරුද්දට යන අයව අල්ල ගන්න බෑ

    ReplyDelete
  5. මම හිතන්නේ උන්ගේ ඇඳුමේ පාට ගැන උජාරුවක්‌ , කාලකන්නි

    ReplyDelete
  6. ඔයාගෙ කතාව 50% ක් ඇත්ත... එත් 2 පන්තියෙ ටිකට්, සීසන් අරන් හිටගෙන වත් යන්න ඉඩ නැති අය ගැන ... එයාලට වෙන ආසාදාරනය ගැනත් හිතුවොත් හොදයි..

    ReplyDelete