Wednesday, December 21, 2011

නැතුවම බැරි එක

        පහුගිය ටිකේ වැඩ ගොඩගැහිලා මේ බ්ලොග්ගෙ අමතකම වෙලා තිබුනෙ. ඉතින් මේ පැත්තට ආවා ඔන්න. ලියන්න දෙයක් ගැන හිත හිතා ඉන්නකොට තමා අයිඩියා එක ඔලුවට ආවේ. 

     ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලොකුම උවමනාව වෙන දේ ගැන. ගොඩක් කොල්ලොනම් පිස්සුවෙන් වගේ හොයන දෙයක් තමා මේක. කෙල්ලොත් මොන සෙල්ලමක් දාලා හරි එකක් අයිති කරගන්නම තමයි බලන්නෙ. හැබැයි කෙල්ලොන්ට නම් වැඩිය මහන්සි වෙන්න වෙන්නේ නැහැ කොල්ලොන්ට සාපේක්ෂව.  ;)    හික්ස්.

උන්ට මේකක් නැතුව නින්ද යන්නෙත් නැ. හැබැයි ඉතින් ගොඩක් උන්ට දා ගත්ත දවස් වල නින්ද යන්නෙත් නැහැ තමා. :D

    මේක ලැබෙන්නෙත් ඉතින් තම තමන්ගෙ හැටි හැටියට තමා. සමහර කොල්ලො කැමති සූකිරි පෙනුමක් තියෙන ඒවට. තව සමහරු නම් පෙනුම ගැන ඒ හැටි හිතන්නෙ නැහැ. හොඳ සෙල්ලම් පෙන්නන්න පුලුවන් ඒවට තමා උන්ගෙ ඇහැ යන්නේ. කෙල්ලොන්ටනම් ඉතින් හොඳ හොඳ එවුවා ලඟටම එනවා. :D

    තමන්ට කියල එකක් නැති එවුන් සමහර වෙලාවට අනුන්ගෙ ඒවුව ඉල්ලන් ගිහිල්ලා තමන්ගෙ වගේ බදාගෙන පෙන්නන වෙලාවලුත් තියෙනවා. :D 

    අනික කොල්ලන්ට කෙල්ලන්ට විතරක්යැ කාට කාටත් නැතුව බෑ නොවැ මේක. බස් එකකට නැග්ගත් කී දෙනෙක් මේවා අතේ, කනේ, සාක්කු වල දාගෙන ඉන්නවනේ. හක් හක් හා.... මං කියන්න යන්නෙ ජංගමේ ගැන බොලවු. වෙනින් අහවල් එකක් යැ.....  :D

    මටත් ඉතින් ජංගමයක් ගන්න ආසාවක් ආවේ 12 වසරේ ඉන්දෙද්දි තමා. ඒ කාලේ අපේ උන් ගාවත් ෆෝන් තිබුනෙ දෙතුන් දෙනාගාවයි. ඉතින් ඔන්න මටත් හිතුනා ගන්න එකක්. ඒ දවස් වල ඉතින් ෆෝන් කිවුවම මහලොකු ගනන් දීලා ගන්න පුලුවනෑ. ගෙදරින් කන එවුන්නේ. කලර් ‍ෆෝන් නං ඉතින් ගන්නවා බොරු.  :(

     රටේම තියෙන පත්තර වල ඇඩ් බලලා බලලා කඩවල් ගානේ රිංගලා ගත්තා ඔන්න රුපියල් 3000/=ට ෆොන් එකක්. 
MOTOROLA M30
    මේක ඉතින් අර ගඩොල් බාග එකක් හරිද.පේනවනේ හැටි. :D වැඩි සෙල්ලම් නැහැ. Call, SMS, විතරයි. :P

     අම්මට සිරි. ගෙදර ගෙනල්ලා මේක දැක්කත් හරි. අහගත්තා ගෙදරින් හොඳටම. සුමාන ගානක් යනකම්ම. :D බර බරේ. ඒ මදිවට ගත්තට මොකෝ සාක්කුවේ දාගෙන යනන් බැරි නිසා දාගෙන යන්නේ බෑග් එකේ :P කෝම හරි ඒ දවස්වල පොඩි හුටපටේකුත් තිබුණ නිසා සෑහෙන්න වැඩක් ගත්තා ඕකෙන්. :D

     කෝම කෝම හරි ඉතින් එන්න එන්න ඕක මදි වෙනවනේ. පොස් මදි. කෑලී බෑලි වැඩ කෑලි නැහැ. ටෝන් දාන්න බැහැ. ඒ නිසා ඕන්න ඕක මදි වුනා කියමුකෝ. ඕන් ඉතින් ඕක 1000/= කට විකුණලා අතේ තිබුණ ගානකුත් දීලා 2900/= කට ආයෙම ගත්තා ඒ කාලෙ ජනප්‍රිය මොඩල් එකක්.
ERICSSON T10
     හරි හුරුබුහුටි බාන්ඩෙ. වැඩකෑලි ටිකටත් වඩා ආස වුනේ ඕකේ තියෙන අර නිවෙන පත්තු වෙන බලුප් එක. ඒ දවස්වල ඉස්කෝලෙ ඇරිලා එද්දි ඕක ඔබ ඔබ පාරේ දිගෙ එන්න ගිහින් වාහනේකත් හැප්පෙනවා. :D

මේකනම් වැඩි දවසක් තිබුනේ නැහැ. අඳුරන අයියා කෙනෙක් එක්ක එයාගෙ ෆෝන් එකට මාරු කරගත්තා. 
MOTOROLA T191
    ඕන් ඕකකට. තනි අතින් හංගගන්න පුලුවන් තරම්. සාක්කුවෙ තියෙනකොට දැනෙන්නෙත් නැති තරම්. :P ඕකනම් සෑහෙන්න කාලයක් පාවිච්චි කොලා.

    ඔන්න කාලෙ හරි. ආයෙම ෆෝන් එකක් ගන්න ඕන වුනා. එතකොට ඉතින් ඉස්කෝලෙන් අයින් වෙලා ලාවට ජොබක් එහෙම කරපු කාලෙනෙ. ඒ කාලේ ඉතින් හිටු කියලා මල් කඩන කාලෙ ඕන වුනේ ටෝක් ටයිම්.
NOKIA 1100
     Nokia 1100 තමයි ඒ කාලේ ලිස්ට් එකේ හිටියේ. ගෙදරිනුත් ලෝන් එකක් ගහලා ගත්තා එකක්. වැඩිය නැහැ 9900/= යි. :D ( අදනම් 9000/=කට මොනව ගන්න බැරිද?)

     ඒ ෆෝන් එකත් සෑහෙන්න කාලයක් පාවිච්චි කරා. ඒ අතරේ කලර් ස්ක්‍රීන් කැමරා ෆෝන් පිස්සුව තදේටම තිබුණා. ඒ පාර ගත්තේ මෙන්න මේක. 
NEC e1108
     සින්දු අහන්නයි ෆොටෝ ගහන්නයි ඒ කාලෙ හැටියට සුපිරි බඩුවක්. ජීවිතේ වටිනම පින්තූර කීපයක් ගත්තෙත් ඕකෙන් තමා.
(මමයි මල්ලියි ඉන්න පින්තූර වගයක්. අද ඒවා කොයිතරම් වටිනවද)
:’(

    බැටරිය අස්පට් නිසා මේ ෆෝන් එකනම් ඉක්මනට අබාවයට ගියා. ඒ නිසා ටික දවසක් ලෝ කොස්ට් විසඳුමකට ගියා. 
NOKIA 1200
    මූ තමා ඩයල් එක. කිසි වදයක් නැති එකා. අද ඌ ඉන්නෙ තාත්තා ගාව. තාමත් එල කිරි වගේ වැඩ. :D

    කොහොමින් කෙහොමින් හරි හොඳ ෆෝන් එකක් ගන්න ඉන්දෙද්දි සිදු වුනු දෛවෝපගත සිදුවීමක් නිසා මල්ලි ලග තිබුන  LG එක මගේ බාරයට පත්වුනා. 
LG KG195
    මම ඒ ෆොන් එනකම් පට්ටම ගැහුවා. ලෙලි යනකම් පාවිච්චි කරලා අන්තිමේදි අලුත් ඇදුමකුත් ඇන්දුවා. පහුගිය ඔක්තෝබර් මාසෙවෙනකම්ම පාවිච්චි කරා. දැනට බැටරිය මැරිලා.

    මෙයාගෙ සහයට ඩැනි විදියට හිටපු (තවමත් ඉන්න) සගයා තමා මේ ඉන්නෙ. 
BIRD K102
    උපන් ගම චීනේ වුනාට මොයාගෙන් අදටත් ගන්න වැඩ ටික පොඩි නැහැ. :D LG එකා සනීප නැතුව ඉන්න කාලේ මූ තමා තනියම ගේම අරන් ගියේ. ;) 
NOKIA 2600 Classic
ඒ එක්කම ටික දවසක් මෙන්න මෙයාගෙ ජාතියෙ එක්කෙනෙකුත් පාවිච්චි කරා.


    මෙන්න ඉන්නවා අලුත්ම සාමාජිකයා. 
SAMSUNG Galaxy mini 
     මෙයාව හම්බුවුනේ මේ අවුරුද්දේ උපන්දින තෑග්ගක් විදියට.
(හුටා මලිතියා දන්නෙත් නැහැ මේක තෑග්ගක් කියලා :O මෙයා ගැනනම් තාම කියන්න දන්නේ නැහැ. තාම සති තුනයි. පැටියා. ;) බොහොම පරිස්සමින් තියන් ඉන්නවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ. :D

ඔන්න ඔහොම තමා මගේ පෝං වල කතන්දරේ. කියවාගෙන ආ ඔබ සැමට ස්තූතියි. :D


ප.ලි:- ආ මට කියන්න අමතක වුනානේ. මේ වෙද්දි ෆෝන් වලට විතරක් වියදම් කරපු ගාන(කෝල් වල ගාස්තු නැතුව) හදලා බැලුවා. රුපියල් 80000/= කටත් වැඩි. මගේ අම්මෝ...  :O

Saturday, October 15, 2011

මාලු කරවල රස කර කර කනවද?

         කෝ බලන්න කී දෙනෙක් ඉන්නවද? අත් උස්සන්න බලන්න. :O අම්මෝ සෑහෙන්න ඉන්නව වගේ ;) හරි හරි දැන් අත පහල දාන්ඩෝ.. මේ මොකද කටවල් ඇරගෙන? :D හහ් හහ් මේ කියන්න ලෑස්තිවෙන්නේ මාලු කරවල කන හැමෝම දැනගන්න ඕනෙ කියල හිතෙන කතන්දරයක්... ම්ම්ම්... මංනං ඉතින් කරවල මාලු එහෙම කන්නෙම නැති තරං. :) මොකක්? නැහැ නැහැ වෙජි නෙමෙයි අයියෝ. එග්ටේරියන් :D බිත්තර කනවනෙ. ;) මං නොකෑවට කමක් නැහැ ඔයාල කන නිසා කතන්දරේ කියන්නම්කො. 
ඔය පේන්නේ බත්තලංගුණ්ඩුව තමා
        පහුගිය දොහොක අර කෙහෙම්මල් විබාග බීතිකාව කාරිය අහවර උනායින් පස්සේ අපේ යාලුවෝ ටික සෙට් වුනානෙ පංකාදු ගමනක් යන්ඩ. හරිම සුන්දර ගමනක්. බෝම කාලයක් තිස්සෙ තැග්ගැහි ගැහි ඉඳලා තමා යන්ඩ කියල කතාකොරගත්තේ. කල්පිටියෙනුත් හැතැම්ම දහයක් විතර ඈත මහමූදෙ තියෙන දූපතක් බත්තලංගුණ්ඩුව කියලා. අහලත් ඇති මයෙ හිතේ. ආ ඔව් ඔව් ඒ පොත තමා. මංජුල වෙඩිවර්ධනත් ඒ පොත ලියන්න කාලයක් ඔය දූපතේ හිටියය කියනවනේ. අපේ ගමන ගැන අපි එක්ක ගිය ලහිරු යාලුවත් ලියන නිසා මං ගමන ගැන ආපහු ලියන එක අපරාදයක් නොවැ. ගමන ගැන දැනගන්ට ඕනැ ඈයෝ මේං මෙතනිං ගොහිල්ලා ඒ ගැන විස්තර බලං එන්ට.
        ඉතින් ඔය ගමනෙං අපිට ඇහැක් වුනානෙව අපේ රටේ උන්දලාගෙ බත්පත රහ කොරන්ට එන මාලු කෑල්ල කරවල කෑල්ල ඒතැනට එවන්ට දාඩිය මාන්සිය වගුරෝන ධිවර ජනතාවගේ ජීවිත ගැන පුංචි හෝඩුවාවාල් ටිකක් දැනගන්නට. ඒවගේම මාලු කරෝට පිඟානට එන්නෙ මොන විදියටද කියලත් දැනගන්ට ලැබුණා. ඉතින් මං මේ හදන්නේ ඒ විස්තර ඩිංගක් ඔහෙලටත් කියාදෙන්නයි කියලා.
මේං මේ පැල්කොට එහෙමත් නැත්තං වාඩි වල තමයි
මේ ඈයෝ ජීවත් වෙන්නෙ. සෙනග තුන්දාහක් විතර ඉන්නවා මගෙ හිතේ
         අපේ ඈයෝ රහකර කර කෑවට ඒ රහ කෑම සරිකරල දෙන ධීවර ඇත්තොනං ගෙවන්නෙ කරුම ජීවිතයක්. ධීවර පවුලක ලබා උපන් කමින් හරි වෙන කරන්න දෙයක් නැතිකමින් හරි මේ ඈයෝ මේ රස්සාව කරන්නෙ හුඟක් අමාරුවෙන්. හුඟක් ඈයෝට සමාජායේ අනික් කොටස්වල මිනිස්සුන්ට තියෙන පහසුකං වලිං බාගයක්වත් නැහැ. බොන්ට වතුර ටික පවා මේ දූපතේ බෝම හිඟයි. අපි ඒ බව හොඳටම අත් දැක්කා. හැකියාවක් තියේනං ඔහෙලත් ගිහින් බලාගන්ට. මුලුදවස පුරා මාලුකරෝල පුලුටු ගඳ, මැස්සෝ එක්ක මේ මහපොලොවෙ මිහිපිට අපායක් වගේ බිං කඩක ඒ මිනිස්සුත් හැපෙන්නෙ ඔයාල අපි වගේ බෝම හොඳට ජීවත් වෙන්න තියා හරියට නිදහසේ කෑම කටක් බඩට යවාගන්නවත් ඉස්පාසුවක්වත් නැතුවයි.
දීවා ආහාරය පිලියෙල කරමින්
         හ්ම් දැන් මදැයි වැල්වටාරං කියෙව්වා. දැං කතාවට එමු. කියන්න ගියේ මාලු කරෝල අපිට ලැබෙන හැටිනෙ. මෙහෙමයි. මේ දූපතේ ධීවර ඈයෝ මාලු අල්ලන තැන් දෙකක් තියෙනවා. එක්කෝ කලපුවෙං එහෙමත් නැත්තං මහ මුහුදෙන්. මොකද මේ දූපත නැගෙනහිර දිහාවෙං පුත්තලං කලපුවෙනුත් බටහිර පැත්තෙං මහ මුහුදිනුත් තමා වටකොරල තියෙන්නෙ. ඉතිං මාලු ජාති හරි ඉස්සෝ කකුලුවො හරි අල්ලන්ට මේ ඈයෝ මේ කොහාට හරි තමා යන්නේ. එහෙම යන්න මොකක්හරි එපෑ ඉතිං පීනල මූදු යන්නයැ. :D මේං මේ පහල තියෙන පොටෝ කෑලි බැලුවනං. ඒවුවගෙ තියෙන්නෙ මොනවද කියල කියන්නං ඊට පස්සෙං පහු.
"තෙප්පම"
        හ්ම්. ඔය තියෙන හනස්ස වගේ පුංචි එකා. ඌට කියන්නෙ තෙප්පම කියලා. වෙරලාසන්න මූදේ ඉන්න මාලු ඉස්සො කකුලුවො අල්ලන්නෙ ඔවුවයෙන් ගිහිං. එක්කෙනෙක් තමා යන්නෙ. ඔය තියෙන රිට වාරුවෙන් තමා ඉස්සහට යන්නෙ. 
"මෝටර් බෝට්ටුව"
උදේ පාන්දරම කකුලුවො අල්ලන්න යන්න වෙන් ඇති.
තනියම ම පිටත් වෙන්නයි සූදානම
            ඊගාවට තියෙන්නෙ මෝටර් බෝට්ටු. මේවුවා පාවිච්චි කරන්නෙ කලපුවෙ මැදක් හරියට හරි මූදේ හැතැප්ම දහයක් පහලොවක් වගේ ඈතට යන්න හරි තමයි. තම තමංගෙ අත්දැකීම් හරි අනික් සගයෝ දෙන ඔත්තු ඔස්සෙ හරි මෙවුවයෙං ගොහිල්ලා මාලු අයින් ඉන්න තැං වලට දැල් එලලා උන්ව අල්ලං එනවා. දැල් ගැන පස්සෙ කියන්නං. ආ තව මේ බෝට්ටුවෙ යන්නෙ උපරිම දෙන්නෙක් වගේ තමා. භූමිතෙල් ඇංජිමකින් දුවන්නෙ. පලපුරුද්දෙං අහසෙ තරු බලාගෙන රෑට ගමන් බිමන් යන්න මේ ධීවරයෝ හරිම දක්සයි. පැය හය හතක ගමනකට මේ බෝට්ටුව සෑහෙනවා. කෝකටත් කියලා හෑන්ඩ් ජී.පී.එස් උපකරණ  තියෙන ධීවරයොත් ඉන්නවා. ඒකෙං වාසිය තියෙන්නෙ කලිං මාලු අහුඋණ තැන් ඒකෙ සටහං කරං ආයෙම වංගියක් එතනට යන්ට පුලුවංකම.
"මාලු අල්ලගෙන එන පුංචි ට්‍රෝලරයක්"

"දවස් ගානක් ඉන්න පුලුවන් ලොකු ට්‍රොලර්"

        මේ තියෙන්නේ බහුදින ධීවර යාත්‍රා. සිංහලෙම්ම කිවුවොත් ට්‍රෝලර්.  මේවා එක එක සයිස් වලින් තියෙනවා. ප්‍රමාණෙ ලොකු වෙන තරමට මුහුදෙ ගතකරන්න පුලුවන් දවස් ගනන වැඩිවෙන්නෙ පහසුකමුත් ඒ එක්කම වැඩිවෙන නිසා. සති ගණන් මෙවායේ මූදෙ ඈතටම ගිහිල්ලා මාලු අල්ලනවා. උයාගෙන කන්නෙක් බෝට්ටුවෙම තමා. පහක් විතර යනවා එකක. ඩීසල් ඇංජිමකින් තමයි දුවන්නෙ.
ඉරුණු දැල් ආපහු වියලා හදාගන්නවා. නැත්තං මාලු ඒ හිඩැස්
වලින් පැනලා යනවා.
        මොන විදියට ගියත් මේ අය මාලු අල්ලන්න පාවිච්චි කොරන්නෙ දැල්. දැල් වල කොටු එක එක සයිස් එකෙන් තියෙනවා. මාලු රෑනක් ඉන්න තැනකට දැල එලුවම මේ දැලේ කොටු අස්සෙන් රිංගන්න එන මාලු තමතමංගෙ සයිස්එකට හරියන දැලක් උනොත් අනිවා පැටලෙනවා. ඔය අපේ උන්දලාත් පැටලෙන්නෙ ආං ඒ වගේ. 
දැල පැටලෙන්නෙ නැතිවෙන්න බෝට්ටුවට දාගන්නවා.
බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්
        ඔය දැලේ වරපොටවල් දෙකක් තියෙනවා. දෙපැත්තෙ වාටි දෙක වගේ කියල හිතාගන්නකො ඕං. ආං ඒ  එක වරපොටක් තියෙන පැත්තට ඊයම් බරු එල්ලයි තියෙන්නෙ. අනෙක්පැත්තට පාවෙන ඍජුෆෝම් බෝල එල්ලනවා. ඒ දැල් වතුරට දැම්මට බර පැත්ත යටට ගොහිල්ල ගානට වතුර හරහා ඇදිලා තියෙනවා. ඒ වගේම සමහර දැල් තියෙනවා පතුලෙ තැම්පත් වෙන්න දාන ඒවා. කෝමහරි මාලු කකුලුවෝ ඔය දැලේ පැටලෙනවා. බෝම සීරුවට ඔය දැල් බෝට්ටු වලින් ගොහින් එලන්නත් ආපහු එක්කහුකරගන්නත් මේ ධීවර ඈයෝ හරිදස්සයි.
        ඔහොම අල්ලගෙන එන මාලු දැලෙන් තෝරල බේරල ගන්නවා. මහමුදෙ තියෙන හැම එකෙක්ම කන්ට ගන්නෙ නැහැ නෙව. ඉතින් ඒවුං තෝරල බේරල අහක් කොරගන්නත් ඕන. 
ගෙනාපු ගමන් දැලක්.
දැල තෝරලා පැටලුම් ඇරගන්න ගමන් මාලුත් ගලවගන්නවා.
අමාරුම වැඩේ කකුලුවෝ ගලවන එකලු.
මෙයාව කන්න ගන්නෙ නැහැලු. අංකුට්ටද මොකක්ද නමක් කිවුවා.
මේ තාරකා මාලු හෙවත් පසැඟිල්ලො.
කකුලුවන්ට දාන දැල්වලට මෙවුන් අහුවෙනවා.
කන්නෙ නැති නිසා ආයෙ විසික් කරනවලු.
දැලෙන් ගලෝපු මාලු.
තාම තෝරලා නැහැ.
        ඊට පස්සෙ මාලුජාති වෙන්කොරලා ගන්නවා. අමු මාලු උවමනා විදියට ඒමයි. කරෝල ඕනෙනං ඒමයි. පුංචි මාලු වෙනම එහෙම එක එක ජාති වලට වෙං කරනවා.
කරවල නොකර මාලු විදියට ගන්නයි මේ සූදානම.
 මුන්ට සිද්ද වෙච්ච දේ පෝස්ට් එකේ යටම ඇති.
        කරෝල වලට ගන්න මාලු නං කලපුවෙන් හෝදලා අරං ලුණු වතුරේ වෙලාවක් ඔබල තියනවා. ප්‍රමානෙං ලොකු මාලු කරවල කොරන්න කලිං පලලා බොකු බඩවැල් අහක් කොරලා අර ලුණු එකටම දානවා. පුංචිවුන් කෙලිම්ම ගන්නවා. උන්ගෙ බඩවල් පලල අහවල් එකක් අයින් කොරන්නයැ?
මේන් මාලු තෝරනවා. ඔය පැත්තකින් තියෙන බැරල් කොට වල
දාල ඉන්නෙත් මාලු තමයි.
තේරිමෙන් පස්සේ මාලු හෝදල ගන්නෙත් කලපුවෙන්මයි.
කූඩ වල දාල තියෙන්නෙ වේලෙන එක නවත්තන්න.
        ඔයිට පස්සෙ මෙන්න මේ විදියට අවුවෙ වනලා වේලන්නයි තියෙන්නෙ. මේ දූපතේ තියෙන කට්ට අවු සැර නිසා හුරුල්ලො වගේ පොඩි මාලුනං එක දවසිං හෝ දෙකෙං කරකුට්ටං වෙනවා. ලොකුමාලුනං දවස් දෙකක් තුනක් යන්නත් පුලුවන්. (මුන් කඩවල් වල මාස ගනන් ඉන්න එක වෙනම කතාවක්) :D
වේලෙන්න දාලා.
මේ දර්සනෙ නං දූපත පුරාම හුරුපුරැදුයි.

නියම ගානට වේලිලා...

සේරම හරි. දැං නියම ගානට කරවල කරවෙලා. දැං ගානට අඩුක් කරලා තියන්නයි තියෙන්නෙ.

කරවල ගබඩා කරල තියන්නෙත් වාඩි වලම තමා.
 ඔය පෙට්ටි ගහල තියෙන්නෙ ගොඩබිමට යවන්න

ගොඩබිමට යවන්න සූදානම්. බෝට්ටුවෙන් ප්‍රවාහන යාත්‍රාවට පටවනවා.

එතනින් ගොඩ බිමට ගෙනල්ලා වෙළඳපොලට යවනවා. මුදලාලිලට තමයි වාසිය හම්බවෙන්නෙ. කෝමත් ඉතිං ගොඩක් බිස්නස් වල අතරමැදියනෙ උපරිම ලාබෙ ගන්නෙ.


ඕං ඕකයි කරවල කතන්දරේ. 

කියවලම මහන්සිනං මේං පුංචි සංග්‍රහයක්. මේ තමයි අර උඩ කියපු මාලුන්ට වෙච්ච දේ. හා හා කලබල වෙන්න උවමනා නෑ. කටු ඇනගන්නෙ නැතුව කන්නකෝ. කකුළුවොත් තියෙනවා. :D
බැදපු මාලු
කකුලුවො බැදුම
මේ තරං විශාල අත්දැකීමක් ලබන්න අවස්ථාව සලස්සපු අපේ රන්දික යාලුවටයි එයාගෙ බාප්පටයි වගේම මේ චාරිකාව යන්න විදියක් නැතුව මම දෙගෙඩියාවෙන් ඉඳිද්දි මාව එක්ක ගියපු අපේ යාලුවො සෙට් එකටත් ගොඩක් ස්තුතියි! ඒ වගේම දූපතේ තිබූනු ඩයලොග් කණුවට පින්සිද්ද වෙන්න විනාඩි දහයෙන් දහයට මං ගැන හොයල බලපු මලිතියටත් ස්තුති නොකලොත් එයා තරහ වෙයි. :)

Saturday, August 20, 2011

වෙනස් වෙන ලොකේ වෙනස් වෙන මිනිස්සු

    කෝ බලන්න කාටද වැඩියෙන්ම හොඳම යාලුවො ඉන්නෙ? තුනක්? හතරක්? හේ හේ... හොඳම යාලුවෙක් කියල විශේෂ කෙනෙක් නැති අයත් ඇති මං හිතන්නෙ. එහෙම නේද? ඇත්තටම කවුද හොඳම යාලුවෙක් කියන්නෙ? යාලුවො අතරෙ විශේෂයෙන් මෙහෙම හොඳම යාලුවෙක් කියලා ගරුනම්බු නාමයක් ඒහෙම කෙනෙකුට දෙන්නෙ ඇයි කියලා කාට හරි කියන්න පුලුවන්ද?

    අපි යමක් කමක් තේරුම්ගන්න පුලුවන් කාලෙ ඉඳලා මැරෙන මොහොත වෙනකම් විවිධාකාර මිනිස්සු ආශ්‍රය කරන්න අපිට ලැබෙනවනෙ. පුංචි කාලෙ අම්ම තාත්තා ඇරැණම පවුලෙ හිතවතුන් ඒ අයගේ දරැවො එක්ක එහෙම අපි හිතවත්කම් ඇති කරගන්නවා. පාසල් යන්න පටන් ගත්තම යාලුවො කියල කට්ටියකුත් මේ සෙට් එකට එකතු වෙනවා. ඊගාවට ගමේ යාලුවො. පාර තොටේදි හමුවන හිතවතුන් එහෙම. අප්පේ ඉවරයක් නැහැ.

    ඉතින් මෙහෙම හම්බවෙන විවිධාකාර මිනිස්සු අතරෙ හැම ජාතියෙම මිනිස්සු ඉන්නවනේ. ඔයාලට කොහොමද කියන්න මං දන්නෙ නැහැ. මම නම් විවිධ තරාතිරම් වල එක් එක සමාජ පන්ති වලට අයිති යාලුවෝ ආශ්‍රය කරල තියෙනවා. මං හිතන්නෙ ඔයාල හැමෝම වගේ එහෙම ඇති. මොකද මේ සමාජායේ අපිට විවිධාකාර මිනිස්සු හම්බ වෙනවනේ එක එක වෙලාවල් වල. ඒ කොහොම කවුරු හම්බ වුනත් අපි ඒ කුලකය අතරින් අපේම කියල උප කුලකයක් ගොඩනගා ගන්නවා. අන්න ඒ සීමාව ඇතුලේ අපි අපේ ගොඩක් අදහස් බෙදාහරිනවා. කොටින්ම ඕනම දෙයකට එකට ඉන්නෙ අන්න ඒ සෙට් එක තමයි. බොහො වෙලාවට ඒ සෙට් ඒකට ඇතුල් වෙන්නෙ නිතර මුණ ගැහෙන යාලුවො කීප දෙනෙක්. පාසලේ, ගමේ ඒකකෝ කැම්පස් එකේ. අන්න ඒ වගේ සෙට් එකක්. ඒහෙම නේද?

    දැන් මේක කියවන අය බලයි මම මේ මොකක්ද කියන්න යන්නෙ කියලා. මට ඇත්තටම කියන්න ඕනෙ මේකයි. ඔයාලා කවුරුහරි විඳල තියෙනවද හොඳම යාලුවෙකුගෙ වෙනස් වීමක්? මෙක් කාටවත් මඩක් ගහන්නවත් අපහසුතාවයට පත් කරන්නවත් නෙමෙයි. මම කියන්න යන්නෙ මට දැනුන හැඟිමක්. ඉතින් අන්න එහෙම එකටම ඉඳපු යාලුවෙක්ගෙ වෙනස් වීමක් කවුරු හරි අත් විඳලා තියේනම් අන්න ඒයාලට තේරේවි මම කියන දේ!

    හොඳ යාලුවෙක් කියල ජීවිතේ තැනක් දීලා තියපු මනුස්සයෙක් එක පාරට වෙනස් වෙලා තමන්ගේ දෙවල් වලින් තමන්ටම පහර ගහන් පටන් ගත්තොත්, ඔයාගෙ ජීවිතේ ගැන එයා දන්න රහස් හරි එහෙම නැත්තම් ඔයා එයා එක්ක තව කෙනෙක් ගැන කියපු දෙයක් හරි එහෙම නැත්තං ඔයාගෙ අඩුපාඩුවක් හරි ආයුදේ කරගෙන ඔයාට ඇටෑක් එකක් දෙනකොට ඔයාගෙ හිතට එන හැඟීම මොන වගේ වෙයිද?  මොකද මිනිස්සු හරි ඉක්මණට වෙනස් වෙනවා. විශේෂයෙන් තමන්ගෙ වාසිය වෙනුවෙන්. මනුස්ස ස්වභාවය ඒක්නේ. බාහිර බලපෑම් හන්දා වගේම තමතමන් මවා ගන්න විවිධ මනෝ විකාර හන්දත් සමහර වෙලාවට කිසිම සාධාරණ හේතු නැතුව මිනිස්සු වෙනස් වෙනවා. මේක මම විතරක් මුහුණ දෙන අත්දැකීමක් නෙමෙයි කියල මම දන්නවා. මොකද මේ වගේ කතන්දර මේ බ්ලොග් අවකාශයෙන් ඒන තරම් සොයාගන්න පුලුවන්. මොකද කියනවනම් අපි හැමෝම මේ ජීවත් වෙන "ශ්‍රී ලංකාව" කියන සමාජ රාමුව තුල මේ වගේ සිදුවීම් දුලබ නැහැනේ.

    කොහොම වුනත් හැමදේම රේස් එකක් වෙලා තියෙන මේ ජීවන රටාවත් එක්ක අම්ම තාත්තව හරි පාගගෙන ඉස්සරහට යන්න බල එක අරුමයකුත් නෙමෙයි. මොකද මේ යන විදියට මොන ක්‍රමයෙන් හරි ඉස්සරහට  ගිය එකා දිනුම්. හැම තැනම වගේ අපිට දකින්න තියෙන්නෙම කොලේ වහල ගහන ගේම්. හැබැයි ඉතින් අනික් මිනිස්සුන්ව පෙරලගෙන දුවලා හෝ මානසිකව වට්ටලා ඒ අය ලබන දිනුමෙන් නම් කිසි පලක් නැහැ කියල තේරුම් ගන්නව නම් අන්න ඒකත් වටිනවා. සමහර වෙලාවට ඒ අය ඔය පෙරලගෙන දුවන්න හදන්නෙ එයාලට අභියෝගයක් එල්ල කරන්න තියා තමන්ට දුවාගන්නවත් හයියක් නැති කෙනෙක්ව වෙන්න පුලුවන්. එහෙම වුනොත් අන්තිමට ඒ අහිංසකයට තරඟෙ ඉවරකරගන්වත් බැරි වෙනවා. එහෙම වුනොත් අර කට්ටිය ලබපු ජයග්‍රහණෙට දෙන අර්ථය මොකක්ද?

    අනික මම දැකල තියෙන දෙයක් තමයි ඉස්සෙල්ල ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙන එක. සමහරු තමන්ට නැති බැරි කාලෙ ලඟින් හිටපු අයව තමන් හොඳ තැනකට ගියාට පස්සෙ අමතක කරලා දානව විතරක් නෙමෙයි තමන් ආපු තැනට එයාලටත් එන්න තියෙන පාරත් වහල දානවා. එහෙම වෙන්න හේතුව ඇයි කියල මට තාමත් හිතාගන්න බැහැ. මොනව වුනත් මේ ජීවිත කාලෙ හරිම පොඩ්ඩයි. කවදා කොහොම යන්න වේවිද කියලා කවුරැවත් දන්නෙ නැහැ. අන්න ඒ නිසා යන කෙනෙකුට තමන්ගෙ පාඩුවෙ යන්න දීලා ඔයාලා අපිත් අපේ අපේ ගමන් තමන්ගේ පාඩුවෙම යමු නේද?


Sunday, June 12, 2011

මෙතැනින් මාරු වෙනු - මාරු වෙන්න ගිහින් මාරු වෙන්න වෙයිද?


ඊතලය

මාරු වෙන්න ගිහින් බෙල්ල කඩාගත්තු අය හැම තැනම ඉන්නවනේ. මේකත් එහෙම එකක් තමයි. හ්ම් සෑහෙන්න වැඩ අධික කාල යක් ඉදිරියට එන්නෙ. හුචස් අධ්‍යාපනේ අවසාන කාල පරිච්චේදය නොවැ. හුස්මක් කටක් ගන්නවත් ඉවරයක් නැහැ.  :) හුඟ කාලෙකින් මගේ අනික් බොලොග්ග දෙකට සලකන්න බැරි වුණා. හැමදාම කෝච්චි විතරද කියල හැමෝම අහනවා :D හේ.. හේ.. කෝච්චි විතරක් යෑ මහපාරෙ යන වාහනත් තියෙනවනේ. හැබැයි ඉතිං කෝච්චි වගේ සුන්දර වාහනයක් තියෙනවද මේ මිහිපිට? ;) මහපාර කිවුවම තමයි මතක් වුනේ. මහපාරත් එක්කම තියෙන දෙයක්නෙ කහ ඉර. කහ ඉර ගැන කියන්න ගියොත්නම් ඉවරයක් නෑ. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු වලින් 30% ක් පමණ සිදුවන්නේ කහ ඉර මතදි.

දිණමින පුවත්පතෙන්
මේ ලිපියට මුලාශ්‍රය මගේ සිතට ආවේ පහුගිය දවසක මම දැකපු සිදුවීම් දෙකක් නිසා. ළඟදි දවසක කොහෙ හරි යන්න පාරට ආව විතරයි දැක්ක දෙයින් මම එකපාරම ගල් ගැහුණා. ඒ මුකුත් නෙමේ. පාරේ මම හිටපු පැත්තෙ හිටපු ගෑනු කෙනෙක් එහා පැත්තෙ ආපු බස් එක දැකල හෙන ගහන්න වගේ එකපාරටම එතන තිබුණු කහ ඉර දීගේ අනෙක් පැත්තට පැන්නා. මොන පිස්සුවක්ද මන්දා මොලයක් නැතුවද කොහෙන පැන්නෙ ඊට අඩි 50ක් විතර ඈතින් ආපු කැබ් එක දැක දැකමයි මේ කාන්තාව පාර පැන්නේ.

කැබ් රියදුරාට හිතාගන්නවත් වුනේ නෑ.. ඔහු එකවරම තිරිංග යොදල රිය අනික් පැත්තට වාහන යන මංතීරුවට හැරෙවුවා. පැමිණි වේගය නිසාද කොහෙද කැබ්රිය මහ හඬක් නංවමින් ලිස්සලා ගිහින් පාරේ හරස් අතට කැරකිලා නතර වුනා. කැබ් රියදුරාගේ වාසනාවට ඒ වෙලාවේ අනෙක් පැත්තෙ කිසි වාහනයක් ලඟපාතක ආවෙ නැහැ. එහෙම වුනානම් කැබ් එකේ කෑලි තමයි හම්බවෙන්නෙ.

අවාසනාවන්තම සිදුවීම වුනේ කැබ්රිය පිටුපසින් ආපු මෝටර් සයිකලේට. මේ කිසිවක් නොදන්න මෝටර් සයිකල් කරුට එක්වරම සිදුවුනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්න ඇති. සාමාන්‍ය වේගයෙන් ආපු යතුරු පැදිය කෙලින්ම ඇවිල්ලා කැබ් එකේ වැදුනා. බයික් එකටවත් පදවපු කෙනාවත් අවුලක් වුනේ නැතත් බයික් එකේ පිටිපස්සෙ හිටපු තරුණයගේ දනිස්ස අර කැබ් එකේ දොරේ තදින්ම වැදුනා. ඉන් ඔහුගෙ දණහිස බිඳුනා. කැබ් රථයේ පැති දොරට සාමාණ්‍යෙයන් හානි සිදුවුනා. කැබ් එක රජයේ වාහනයක් නිසා එහි රියදුරාට ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නත් වෙයි මං හිතන්නෙ. අන්තිමට මෙලෝ සිහියක් නැති එක් අයෙක්ගෙ වැඩක් නිසා අහිංසකයෝ දෙන්නෙක් අමාරැවේ.

දෙවැනි සිදුවීම වුනේ සවස 7.30ට පමණ කොළඹ ඉඳන් ගාලුපාර ඔස්සේ පානදුරේට එද්දී. ඔය වෙලාවට ඉතින් සෑහෙන ට්‍රැෆික් එකක් තියෙනවනේ. අපි නම් බයික් එකේ එහෙන් මෙහෙන් දාලා ආවා. ;) සෑහෙන්න දිග වාහන පෝලිම් අස්සෙන් ආලා එන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. (දැං මට බනින්න එපා :D ) මොනව වුනත් දකින්න ලැබුණු එපාම කරපු දේ තමයි කහඉරෙන් පාර මාරු වෙන අයගෙ ක්‍රියා කලාපය. අරතරම් දිග ට්‍රැෆික් පෝලිම් තියෙද්දිත් සමහරු කහ ඉර හරහා පාර මාරු වෙන්නෙ ගාට ගාට. නිකම් යන්න වුවමනාවක් නැති ගානට. ඒ වගේ කීප දෙනෙක්ම බොහෝ රියදුරන්ගෙ දෝශාරෝපන වලට ලක්වුණා. වාහන නැවැත්තුවම හැකි ඉක්මනින් පාර මාරු වෙලා වාහන වලටත් යන්න ඉඩ සලස්සන එක පදිකයොන්ගෙත් වගකීමක්.

මේ සිදුවීම් දෙකම මම කිවුවෙ කහ ඉර ගැන අපේ බොහොමයක් දෙනා දරන ආකල්පය ගැන කියන්නයි. බොහෝ දෙනා (මගීන්) හිතාගෙන ඉන්නෙ කහ ඉර කියන්නේ තමන්ට සින්නක්කරේට ලියල දීපු බූදලයක් කියල. ඕන වෙලාවක ඇවිල්ල හෙන ගහන්න වගේ මාරු වෙනවා එක පාර. කහ ඉර උඩ කියල වේගයෙන් ආපු වාහනයක් එක වර නවතින්නෙ නැහැනෙ. (ඇතැම් රියදුරෝත් කහ ඉර ගැන නොසලකන අවස්ථාත් නැතුවා නෙමෙයි). තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් තමන් සැලකිලිමත් වෙනවනම් නිතර නිතර සිදුවෙන බෙහෝ අනතුරු වලක්වගන්න පුලුවන්.

කහ ඉරක දී,
ඔබ මගියෙක් නම්,
  • පාරේ කහ ඉර ආසන්නයේ එන වාහන සහ ඒවායේ වේගය පිළිබඳව මදක් අවධානය යොමු කරන්න. හැකිනම් ඔබට පාර මාරු වීමට අවශ්‍ය බව හස්ත සංඥා මගින් දැනුම් දෙන්න. එහෙත් වාහන නවත්වන තුරු ඉවසා සිටින්න.
  • විදුලි සංඥා සහිත ස්ථාන වලදී ඒ පිලිබඳ අවධානය යොමු කරන්න.
  • පෙලිකන් පදික මාරුවක් සහිත කහ ඉරක් නම්, අදාල බොත්තම ඔබා ඔබේ වාරය පැමිණෙන තුරු රැඳි සිටින්න.
  • අධික තදබදයක් සහිත ස්ථාන වලදී නිතර නිතර පාර හරහා මාරුවීම වාහන තදබදය තවත් වැඩි කරන නිසා මදක් ඉවසා සිටින්න.
  • උමං පදික මාරැ හෝ ගුවන් පාලම් සහිත ස්ථානයකදී නම් ප්‍රමාදය නොසලකා එම ස්ථාන වලින් පාර මාරු වීම ඔබේ ආරක්ෂාවට හේතුවේ.
  • කොයිම අවස්ථාවකදීවත් බසයකින් බැසගත් විගසම එම බසයට ඉදිරියෙන් හෝ පසුපසින් එකවරම පාරු මාරැ නොවන්න. ආසන්නයෙන් එන වාහන රියදුරන්ට ඔබ නොපෙනෙන නිසා අනතුරක් සිදුවීමට ඉඩ ඇත.
  • ආබාධිත හා වයස්ගත පුද්ගලයන්ට මාර්ගය හරහා යාමට ඔබේ උපකාරය අවශ්‍ය විටදී ඔවුනට ඔබේ සහය ලබා දෙන්න.

ඔබ රියැදුරෙක්නම්,
  • හැකි සෑම විටම කහ ඉරි ආසන්නයේදී ඔබේ වාහනයේ වේගය අඩු කරගන්න.
  • කහ ඉරි ඇති ස්ථාන පිලිබඳව අවධානයෙන් රිය පදවන්න. බොහෝ විට නාගරික ප්‍රදේශ වල මෙවන් ස්ථානවලදී වඩාත් ප්‍රවේශම් වන්න. පුද්ගලයින් එක් වරම පාර හරහා මාරු වීමට ඉඩ ඇත.
  • බස් රථ නැවතුම්වල බස් රථ නවත්වා ඇති විට වේගය අඩු කරගන්න. මගීන් එක් වරම පාර හරහා මාරු වීමට ඉඩ ඇත‍.
  • පාසල් ආසන්නයේදී කුඩා දරුවන් එක් වරම පාර හරහා පැනීමට ඉඩ තිබේ.
  • හැකි සෑම අවස්ථාවකදීම ඔබට පාලනය කරගත හැකි වේගයෙන් පමණක් රිය පදවන්න. එසේම රිය පදවන විටදී සම්පූර්ණ අවධානයම ඒ වෙත යොමු කරන්න. බීමත්ව හෝ ජංගම දුරකථන භාවිතා කරමින් හෝ අවධානය වෙනස් විය හැකි වෙනත් ක්‍රියාවන් වලි නිරත වෙමින් රිය පැදවීම මාරාන්තික  අනතුරු ඇති වීමට අත වනයි.

මහා මාර්ගයේදී විනයවත් ලෙස හැසිරීම ඔබගේ මෙන්ම අනෙක් සියල්ලන්ගේම ආරක්ෂාව සලසයි.

Thursday, April 28, 2011

බුදු අම්මෝ!!!! අත ලඟම ඉන්න යාලුවගෙන් මෙහෙම ආතල් එකක් ලැබිල නැද්ද?


හප්පේ.....  යාන්තං එග්සෑම් එකනං ඉවර වුණා. දැං ඉතිං පුදුම නිදහසක් දැනෙනවා. දෙයියනේ කියල ටික දවසක් නිදහසේ ඉන්න පුලුවන්. ටික දවසකිං බ්ලොගේ ලියන්නත් බැරි වුනානෙ. බ්ලොගෙ පටන් අරන් අවුරුදු දෙකටත් වැඩිද කොහෙද. ඒත් තාම පෝස්ට් 50ක් ලියලත් නෑ. :D ඒ තරං වේගෙන් කොහොම ලියනවද මන්ද මේ බ්ලොග් ලියන ඈයො  :D

අද බ්ලොග් එකෙං මං මේ කියන්න ලෑස්ති වුනේ මේ අපි ගොඩ දෙනෙක් මූන දීල තියෙන දෙයක් ගැන. මහා ලොකු දෙයක් නං නෙමේ. මේ ලඟදි මං අහපු කතාවක් නිසා මට හිතුන මේක කිවුවොත් හොඳයි කියල. මේක පරිගණක ඇක්ස්පර්ට්ලට නං ඒ හැටි වැදගත් නෑ ඕං. ඒ අය ආපහු යනවා හොඳයි. :D

කෝ බලන්න ඩෙස්ක්ටොප් කොම්පියුටරෙන් කරන්ට් එක වැදුන අය අත උස්සන්න  බලන්න.  :D

හේ හේ.. කොම්පීටරේ ඔන් කරල තියෙද්දී  සිස්ටම් යුනිට් එකේ (අර මහ තඩි පෙට්ටගම නොදන්න එකෙක් නෑනෙ) කොහෙන් හරි ඇල්ලුවනම්, එහෙමත් නැත්තං මොනිටර් එකේ තිරේ ඇල්ලුවම කරන්ට් එක ඒකපාරක් හරි වැදිල ඇතිනෙ හුඟ දෙනෙකුට.

යාන්තම් දැනෙන පුංචි කරන්ට් පාරක් වගේම චූ පිටවෙන්න තරං සැරට කරන්ට් වදින වෙලාවලුත් තියේ. වැදිල තියෙන අය දන්නව ඇතිනෙ දැනෙන සනීපෙ. :D 

දැං මොකද හිතෙන්නෙ. මේක කොම්පීටරේ, එහෙමත් නැත්තං පවර් සප්ලයි උන්නැහේගේ වරදක්ද? නැත්තං අර තඩි මොනිටර් රාජයගෙද වරද? (මම අහපු සිද්දියෙදි පරිගණක පිලිබඳ විශාරදයෙක් කිවුවෙ ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරන්න කියල. ඒ කිවුවෙ පවර් සප්ලයි පෙට්ටිය මාරු කරන්න කියල)  :D

මෙතන වරද තියෙන්නෙ කොහෙද කියල ඔයාලනම් දන්නව ඇති. ඒත් නොදන්න එක්කෙනෙක් හරි ඉන්නවනම් මේ එයාටයි කියන්නෙ. වරද තියෙන්නෙ 99% ම ඔබේ ගෙදර. මෙන්න මේ හේතු නිසා.



  1. පරිගණකය සඳහා දෙකූරු පේනුවක් (Two pin plug) සහිත Extension කෝඩ්(අර ප්ලග් බේස් ගොඩාක් තියෙන්නෙ) පාවිච්චි කිරීම.
  2. නිවසේ විදුලි පරිපථයට ගූගත වයර(Earth) සම්බන්ධ කර නොතිබීම හෝ සම්බන්ධය බිඳී යාම.
  3. සම්බන්ධ කරන කේබලයේ දෝෂ

මෙන්න මේ වගේ හේතු නිසා ඔයාලගේ පරිගණකයට විදුලි සැපයුමේ භූගත අග්‍රය සම්බන්ධ වෙන්නෙ නැති කම තමයි මෙහෙම කරන්ට් වදින්න හේතුව. පරිගණකයේ විදුලි සැපයුම සකසල තියෙන්නෙ භූගත  පරිපථයකදී භාවිත කරන්නයි. ඉතිං අර්ත් එක නැති වුනාම වදිනව තමයි. පුංචි දරැවෙකුට වුනත් වැරදිලා හරි මෙහෙම පාරක් වදින්න ඉඩ තියෙනව. මොකද සමහරු පරිගණකය අසලටපුංචි දරුවොත් ලංකරගන්නවනෙ.

මෙසේ පරිගණකය අර්ත් නොවීමෙන් පරිගණකයේ උපකරණ වලට හානි වෙනවද කියල කීපදෙනෙක් මගෙනුත් අහල තියේ. මටනං හිතෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියලයි. කොහොම වුනත් අපිට කරන්ට් එක වදින එක් ඒ තරං මිහිරි අත්දැකීමක් නෙමෙයි. නිතර එවැනි සිද්දී වලට ලක් වීම සරීස සවුක්කියටත් හරි මදී.

මං දැකල තියෙනව මගෙ සමහර යාලුවො, විශේෂයෙන් කොම්පුටර් ඇක්ස්පර්ට්ල පවා මේ ගැන ඒ තරං ගනන් ගන්නෙ නෑ. අපේ උන්ගෙ කොම් වලින් මට ඔය වගේ පිනා චාන්ස් කීපයක්ම වැදිල තියෙනවා. හම්මා.. මතක්වෙද්දිත් සනීපයි. :@

ඒව කොහොම උනත් මොකටද නිකං කරන්ට් වද්ද ගන්නෙ? ආයෙ පිස්සුවක් ඇතෑ නේද? :D ඒ නිසා මේකට හොඳම විසඳුම තමා සිංහලෙන්ම කියනවනං ත්‍රී පින් ප්ලග් නැත්තං ඒව එහෙම හදාගෙන ඔය අර්ත් එක එහෙම හරිගස්සගෙන පරිගණකයේ විදිලි සැපයුම හරියට සකස ගන්න එක. අඩු ගානේ සිස්ටම් යුනිට් එකේ ඇණේකට සම්බන්ධ කරපු හොඳ වයර් එකක් පොලවට හොඳින් බස්සපු යකඩ කූරක් වගේ දෙකට සෙට් කරානං ආයි.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ලෙඩේ සුවයි....

දැං ඉතිං බනින්න එපා මගුලක් ලියල කියල.  :(
______________________________________________________________
ප.ලි. :- එහෙම දාපු කූරක් හිටවල තියෙන තැන පොලව වේලිලා නිසා හරියට අර්ත් වෙන්නෙ නෑ කියල මගේ යාලුවෙක් ඒකට නියම විසඳුම් හොයන් තිබ්බා. :D උදේට උදේට එයා එතන පුංචි වැඩක් කරා..  :D

Friday, April 15, 2011

පොඩ් එකාගෙ රචනාව - අවුරුද්ද ඉවර විය

 ඉස්සර කොස්ගහේ ඉඳලා කෑ ගහන කොහා මෙදා පාර ටීවී එකෙං කෑ ගැහුවෝය. ලංකාවේ ටීම් එකේ අයියලා කුසලානේ ගේන්න බැරි උන හින්දා කොහා ඇඬුවේ දුකින් වගේය. මැච් එක පැරදුන හන්දා මේ පාර මොන අවුරුදුදැයි අයියා කීවෝය. මොකාට එපා උනත් අක්කා නංගී දෙන්නාටම අලුත් ඇඳුම් ඕනෑ කියා දෙන්නාම කෑ ගැසුවාය. ඒ නිසා අම්මා ටවුමේ පොලෙන් අක්කාට හා නංගීට ගවුම් දෙකකුත් අයයියාට හා තාත්තාට සරම් දෙකකුත් ගත්තතෝය. මට කොට කලිසමත් ටී සර්ට් එකක් ගත්තෝය. ටවුමේ පොලේ සෙනග කන්දරාවට හිරවුන නිසා මගේ හුස්ම හිරවුනෙමි. අම්මා අමාරුවෙන් පැන මාව බේරාග්තෝය. තවපොඩ්ඩෙන් ගෙදර මලගෙයක් වෙනවාය.

 පටස් පටස් ඩෝං කියා වටෙංම සද්ද ඇහුනෝය. ඒනිසා මටද රතිඥ්ඥා පෙට්ටියක් ඕනැ කියා අයියා කෑ ගැසුවාය. තාත්තා එනවිට පොලෙන් තඩි පෙට්ටියක්ම ගෙනැල්ලා අයියාට දුන්නාය. තාත්තා තව බර මල්ලක් අරන් ඇවිල්ලා ඇඳ යට හංගනවා මම දැක්කෝය. තාත්තා එහෙම හංගන්නේ අම්මාට ගෙනා අවුරුදු තෑග්ගක් කියා මට කීවෝය. පොලෙන් අම්මාට ඇදුම් ගත්තේ නැති නිසා මම සතුටු උනෝය.

 අයියාත් මමත් පහල ගෙදර ගුණයා හා සිරා එක්ක පිට්ටැන්නේ ක්‍රිකට් ගහන්නට ගියෙමි. දවලේ පන්සල පැත්තේ ගිහින් එමු කියා තාත්තාත් අම්මාත් කියුවාය. අපි පන්සල් ගියෙමි. පාට පාට අක්කලා ගොඩාරියක් අයියලා හා මාමලා එක්ක පන්සලේ තැන තැන සිටියාය. පන්සලේදීත් ඒ අක්කලා හිකි හිකි ගාන්නේ ඇයි කියා පොඩි එකෙක් නිසා මට තේරැණේ නැත. අපේ ලොකුඅක්කාට පන්සලේ හිටපු අයියා කෙනෙක් ඇහැක් ගැසුවෝය. අම්මා ඒ දැක රවපු රැවිල්ලට ඒ අයියා කොහේ ගියාද කියා මම නොදැක්කෝය.

 අවුරුද්දටම එක පාරයි නෙවැ කියා අම්මා කෑම ජාති වගයක් සාදා තිබුණෝය. ලිප පත්තු කරන්න දැංවෙලාව හරි කියලා ටීවී එකේ නැන්දා කෙනෙක් කියුවෝය. අම්මා කිරිබත් මුටිටිය ලීපේ තිබ්බෝය. අයියා රතිඤ්ඤා පත්තු කරාය. අක්කලාත් මමත් ටීවී එකේ ගිය අවුරුදු උත්සවේට සහබාගී වුනෙමි. ඉස්සර අපේ ගමේ අවුරුද්දට උස්සවයක් තිබුණෝය. ඒත් දැං ගමේ මාමලා අයියලා ගොඩාරියක් ඉන්නේ මූදෙන් එහා පැත්තේ කියා තාත්තා කිවුවෝය. එහෙම නොවුනානං අපේ ගමේද අවුරුදු උස්සවයක් බලාගන්න තිබුණාය.

එකපාරට අවුරුදු උස්සවේ පෙන්නන එක නවත්තලා ඇඩ් එකක් දැම්මාය. බාගෙට හෙලුවෙං වගේ පේන වයසක අක්කා කෙනෙක් මොනවාදෝ වැඩියෙන් උරාගන්නා ජාතියක් ගැන කියාගෙන ගියේය. මං පොඩි එකා නිසා මට ඒක නොතේරුණි. ඒ මොකක්ද කියා මං අක්කාගෙන් ඇහුවාම අක්කා මට රැවුවෝය. රතු පාට තුවායක් වගේ එකක් කරේ දාගෙන හිටි කලු තඩි මහත මාමා කෙනෙක් ටීවී එකෙං අපිට සුබ පැතුවාය. අවුරුද්ද අපේ කියා ඒ මාමා කියුවෝය. මට ගොඩාක් සතුටු හිතුනේය.

හතර වටෙං පටස් පටස් ගාද්දී අපි අවුරුදු මෙසෙට වාඩි උනෙමි. කෑමෙන් පස්සේ අපි අම්මාටත් තාත්තාටත් වැන්දෝය. බුලත් කොලයක් ගානේ තාත්තා අපිට දුන්නාය. මොකෙක්දෝ හැල ගෙම්බෙක් ඉන්නා රුපියල් දහයේ කොලයක් ඒකේ තිබුණාය. දැං මට ඒකෙන් රටකජු කන්නට පුලුවන් නිසා මට සතුටු හිතුනෝය. අවුරුදු කෑම ඉවර උන ගමන්ම අයියා කෙහේදෝ දිවුවෝය. පොඩ් එකා හෙම එක්ක යන්නෙ නෑ ඔය සූදුපොලට කියා අම්මා සැර දැම්මෝය.

අපේ ගමේ තාත්තාගේ යාලු මාමලා වගයක් අවුරුද්දට ගෙදර ආවේය. ටික වෙලාවක් කියෝ කියෝ සාලේ ඉඳපු මාමලා හැමෝම හෙමින් සැරේ තාත්තාගේ කාමරේට එබුනෝය. මමද මාමලාගේ පස්සෙන් කාමරේට ගියාම තාත්තා මාව එලෙව්වාය. ටික වෙලාවකට පස්සෙ මම හොරෙන් කාමරේට එබුනේය. අම්මාට දෙන්න ගෙනාපු තෑග්ග තාත්තා කඩලාය. ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා එක්ක බිවුවාය. මට අම්මා ගැන දුක හිතුනාය. ඊට පස්සේ ඔක්කෝම එකතු වෙලා සාජ්ජයක් දැම්මාය. අම්මා කුස්සියට වෙලා තරහෙන් සිටියේය. අම්මා දුකෙන් ඉන්නේ අම්මාගේ තෑග්ග මාමලා බීපු නිසායැයි පොඩි කමට මට සිතුනෙමි.

පහුවදා අපි පහල ගෙදර පොඩි නැන්දලාගෙ ගෙදරට නෑගම් ගියෝය. තාත්තාට වැඩට යාමට ඕනෑය කියා හුලංදාවේ නැන්දලාගේ ගෙදර වෙසක් එකට යමුයි තාත්තා කිවෝය. ඊට පස්සේ අවුරුද්ද ඉවර විය. අපේ ගෙදර පොඩි එකා වන මගේ අවුරුද්ද මේ වගේය. අසා සිටි ඔබ සැමට ඉස්තුතිය.

Saturday, March 19, 2011

ඊයා....... මේ මොන ජරාවක්ද...........

ඡායාරූපය:- http://everysing.files.wordpress.com 
            ඊයා......... අනේ මේ මොන ජරාවක්ද....  අනේ........... ගලවන්නකෝ...................  ඒ ගයනිගේ කට හඬ. ගයනි හයියෙන් බෙරිහන් දෙනවා. ඒ මදිවට අඬනවා. 

      ඕක අපි කාටවත් එක පාරටම තේරුම් ගන්න බැරිව අපේ එවුනුත් එක එකාගෙ මූණ බලාගත්තා. 

       ගයනි කෑ ගහන කොට ඒකිගෙ පන්තියේ කොල්ලො ටික ලාවට හූවකුත් එක්ක මහ සද්දෙට හිනාවෙනවා.  :D ඒ මදිවට කෙල්ලො ටිකත් හක හක ගගා හිනා වෙනවා. 

      පොඩ්ඩක් ලඟට ගිහිල්ල බැලුවම තමයි වැඩේ තේරුණේ. ගයනිගේ ගවුමේ ලස්සන අක්ක කෙනෙක් තමන්ගෙ  සම්පත් බාගෙට පෙන්නන පින්තූරයක් තියෙන පත්තර කොල කෑල්ලක් එල්ලෙනවා. මේකි කෑ ගහන්නෙ ඒක ගලවගන්න බැරුව.

       කොල්ලො ටික ඒකෙන් පට්ට ආතල් එකක් ගන්නවා. ආයෙ මොකද උන්ටත් නියම චාන්ස් එක. හූ කියනව හිනාවෙනව එක විකාරයයි. කොහොමටත් ගයනි කියන්නෙ මහ එක ජාතියෙ බඩ්ඩක් නිසා හුඟක් වෙලා යනකම් ඒක ගලවන්න කවුරැත් ඉදිරිපත් වුනේ නං නෑ. 

අන්තිමට ඒක ගලවන්න උදව් කරන්ක කෙල්ලෙක් දෙන්නෙක් ආවත් උන්ටත් ගලවන් බැරි වුනා. ඒක අලවල තිබුනෙ චුයිංගම් එකකින්. අන්තිමට කොහෙන්දෝ වෙන ගවුමක් ඇඳගන්න ගයනිට සිද්ද වුනා.  :D 
(පස්සෙ ආරංචි වුනේ මේක ඒකිගෙ පන්තියෙම කෙල්ලො සෙට් එකක් දීපු ගේමක් කියලා. ඔන්න කෙල්ලො)

ඔය, චුයිංගම් එහෙමත් නැත්තං බබල්ගම් ගැන මගේ පාසල් වියේදි මට ලැබුණු අත්දැකීමක්.  බබල්ගම් එහෙමත් නැත්තං චුයිංගම් ලෙස හදුන්වබ මෙම සුවිශේෂ දෙය ඔබත් අනිවාර්යවෙන්ම රස බලා ඇති.

චුයිංගම් නිපදවන්නේ latex වැනි රබර් මිශ්‍රණයක් විශේෂ රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර නියමිත තත්ව පාලනය යටතේ ඒවාට අවශ්‍ය පරිදි වර්ණක සහ රසකාරක යෙදීමෙන්. මෙසේ විවිධ සමාගම් වලින් නිපදවල පසුව විවිධ ඇසුරුම් කොට වෙළඳපලට යැවෙනවා. කුඩා දරැවන් පමණක් නොව බොහෝ තරුණ තරුණියන් මෙන්ම ඇතැම් වැඩිහිටියන් පවා මෙම චුයිංගම් වලට ඇබ්බැහි වී සිටිනවා. විවිධ රසයෙන් පාටින් මෙන්ම විවිධ හැඩයෙන් යුතු චුයිංගම් ලොව පුරා මිලදී ගැනීමට තිබෙනවා. චුයිංගම් පිලිබඳව අන්තර්ජාතික  ආයතනයක් පවා තිබෙනවා. ඩුයිංගම් ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්නකො.

ලොව මෙතෙක් අලවි වී ඇති වටිනාකමින් වැඩිම චුයිංගම් එක ඩොලර් 14000 පමණ වු අතර එම මිල එයට ලැබී තිබෙන්නෙ වෙන්දේසියකදී. චුයිංගම් හපමින් ඒවා දිවේ ආධාරයෙන් පිම්බීමක් ඇතැමුනගේ විනෝදාංශයක්. එමෙන්ම මේ සම්බන්ධ තරඟ පවා ඇතැම් රට වල පැවැත්වෙනවා. වාර්තාවල සඳහන් ආකාරයට චුයිංගම් සඳහා වසර පන්දාහාකට එහා අතී සාක්ෂි හමුවෙනවා. එමෙන්ම ඇමරිකාව ආදී රටවල් තම හමුදා වල සෙබලුන් සඳහා චුයිංගම් ලබා දෙන්නේ එය මානසික ආතතිය ආදී යුධ බිමේදි ඔවුන් මුහුනදෙන ගැටලු සදහා ‍ඉන් යම් සහනයන් ලැබෙන බව සලකන නිසයි.

කෙසේ වුවත් ශරීර සෞඛ්‍යය කෙරෙහිනම් මින් යහපතක් සිදුවන්නෙ නෑ. එයට හේතුව මේවා නිපදවීමේදී යොදාගන්නා ඇතැම් රසායන ද්‍රව්‍ය මිනිස් ශරිරයට 100%ම හිතකර ඒවා නොවිමයි. ඒමගින් ඔබේ වටිනා දත් දෙපල දිරායාමටත් ඒවා අවපැහැ ගැන්වීමටත් ලක් වෙන්න පුලුවන්. එමෙන්ම වැඩිකාලයක් එකම චුයිංගම් එක  මුව තුල රුවාගෙන හපනවිට ඛේටය සමග මේවායේ සංඝටක විසින් සාදනු ලබන විවිධ කොටස් ‍ෙඔබගේ ආහාර මාර්ගයට ඇතුලු වීමේන් ආහාර මාර්ගයේ විවිධ සංකූලතා ඇති වන්නටත් පුලුවන්. එසේම මෙම චුයිංගම් කොටස් දත් අතර රැඳිමෙන් ඔබගේ දන්ත සෞඛ්‍යයට ඔබ නොදැනුවත්වම හානි සිදු වෙන්නට පුලුවන්.

ඒ සෞඛ්‍ය ගැටලු. එමෙන්ම චුයිංගම් නිසා ඇතිවන සමාජ ගැටලුත් තිබෙනවා. චුයිංගම් කන අය මෙන්ම නොකන අයටත් මෙය මහත් ගැටලුවක්. හපා ඉවත ලන හපය මහ පාරවල් වල ඉවත දැමුවිට ඉන් අන් අයට වන්නේ මහා කරදරයක්. බස්රථ, සිනමා ශාලා, පුස්තකාල හා පන්තිකාමර ආදියේ ආසක වල සහ ඩෙස් පුටු වල ඇතැම් පිරිස් විසින් නොදැනුවත්ව හා දැනුවත්වත් මෙම හපා ඉතිරි වූ හපයන් අලවන අවස්ථා ඉතා සුලභයි. මෙයින් බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වෙනවා. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට ලොකයේ ඇතැම් රටවල් ප්‍රසිද්ධ ස්ථාන වල චුයිංගම් හැපීම පවා තහනම් කර තිබෙනවා. අනෙක් කාරනාවනම් ඇතැමුන් චුයිංගම් හපන ආකාරය පවා බලා සිටීමට අප්‍රසන්නයි. ඔබට නොතේරුණත් එවන් ක්‍රියාවන් ඔබගේ පෞර්ෂත්වයට කරන්නේ සුලුපටු බලපෑමක් නොවේ. ඔබත් ඉවක් බවක් නැතිව චුයිංගම් හපන්නෙක් නම් මේ පිලිබඳව තවත් වරක් සිතා බලන්න.

චුයිංගම් ගැන මතක් වුන පුංචි කතාවකින් මෙම ලිපිය අවසන් කරන්නම්.

චුයිංගම් ලංකාවට මුලින්ම ආපු කාලෙ දිනක් නගරබද තරුණ යුවතියක් වන ශීලා දොස්තර කෙනෙත් ගාවට ගියාලු. ටිකක් බටහිර පන්නෙට හැදුනු ශිලා නිතරම කතා කරේම සිංහල මිශ්‍ර ඉංග්‍රීසියෙන්.සෙනග වැඩි නිසා තමංගෙ වාරෙ එනතුරු මෙයාට පෝලිමේ බලා ඉන්නට වුනාලු.
 එහායින් වාඩි වෙලා හිටියෙ තරමක් ගම්බද ප්‍රදේශයකින් ආපු අම්ම කෙනෙකුයි පොඩි එකෙකුයිලු. සෙනග වැඩි තදබදේ නිසා පොඩි එකාට පොඩ්ඩක් මලලු. දන්නවනෙ ඔය පොඩිඋන්. මූ නලියන හින්දා ටික වේලාවකින් මේ පොඩි එකාව සුරතල් කරන්න පටන් ගත්ත ශිලා තමන්ගෙ බෑගයෙන් චුයිංගම් එකක් අරගෙන පොඩි එකාට දුන්නා. සතුටු සිතින් ඩුයිංගම් එක ගත් පොඩි එකා එය අම්මාට පෙන්වමින් එහෙ මෙහෙ හරවමින් සිටියා මිස එක මොකක්ද කියල දැනං හිටියේ නෑ. ගමේ අයට ඒව පුරුදු නැතුව ඇති. පොඩි එකා ලඟට ගත්තු ශිලා පොඩි එකාට චුයිංගම් එකේ කවරෙ ගලවල දුන්නලු. ඒ පාර මූ ඒක රබර් පට්ටෙ වගේ අදිනව මිසක් කන පාටක් පේනන නැති නිසා පොඩි එකාව වඩා ගත්තු ශීලා "නෝ නෝ පුතා චු.. චූ" කියා කිවුවලු. 
සෙනග අස්සේ හෙම්බත් වෙලා එපාවෙලා හිටපු ඇම්ඩන් පරම්පරාවෙ පොඩි එකා ශීලගෙ ඔඩොක්කුවෙ කරපු වැඩේ කියන්න ඕනෙ නෑනෙ. :D