Friday, December 31, 2010

2011 වසරට අවුරුදු සුභ පැතුම්....


ඉතින් ඔන්න හිතවතුනි 2010 වසරෙ ලියන අවසාන ලිපිය. මේ පහුගිය වසර දිහා අපසු හැරිලා බලද්දී මටනම් සතුටු වෙන්න කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.  ඉතින් ඉටුකරගත්තු පැතුම් වගේම ඉටුකරගන්න තියෙන බලාපොරොත්තු සේරමත් අරගෙන 2010 වසරෙන් උදාවන අවුරුද්දට පිවිසෙන්න බලාගෙන ඉන්න හිත මිතුරු බ්ලොග් මිතුරු මිතුරියන් හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන්නම්. එහෙනම් අලුත් අවුරුද්දෙදි නැවත හමුවෙමු.


හෙටින් උදාවන 2011 නව වසර ඔබ සැමට සුභම සුභ අලුත්  අවුරුද්දක් වේවා!!!!

..ChAnDiKa..
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Thursday, December 30, 2010

දැන් අලුත් තැනක ~ අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....


මෙම බ්ලොගය ඔස්සේ ලියවුන  "අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...." ලිපි පෙල මෙතැන් සිට අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා.... නමැති අලුත් බ්ලොගයට ගෙන යන අතර එම අලුත්ම බ්ලොග් අඩවිය ඔසසේ ශ්‍රී ලාංකීය දුම්ර්ය සේවයේ තොරතුරු කියවන්නට පිවිසෙන ලෙස මගේ ආදරණිය බ්ලොග් හිතවතුන්ට මෙයින් මතක් කරමි. 

 ස්තුතියි.

Saturday, December 18, 2010

M3 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Sri Lanka ~ අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....

    මේ ලිපියේ මාතෘකාව ඔයාල දකින්න ඇති නේ. හ්ම්.. ඒක තමයි. පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ යාලුවනේ. මේ ලිපිය කියවලාම බලන්නකො.

   අද මං ඔයාලට විස්තර ගෙන එන්නේ අපේ දුම්රිය සේවා කටයුතු වලට යොදවා ගත්තු තවත් ඉතා වැදගත් එන්ජිමක් ගැන විස්තර. මෙහි තිබෙන වැදගත්කම තමයි මෙම එන්ජිම 99%ක්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වීම. එය ශ්‍රී ලාංකීය අපට මොන තරම් ආඩම්බයක්ද?  ඔව්.. ඇත්තෙන්ම...  ඒත් ඇයි මේ 99% කිවුවේ.... ඉස්සරහට කියවගෙන යන්නකො. ඒ වගේම මං ඉල්ලනව පුලුවන් හැටියකට මගේ මේ උත්සහය ගැන පුංචි වචනයකින් හරි ඔබේ අදහස් දක්වනවනම්. මොකද කියනවනම් ඒ ප්‍රතිචාර මට ගොඩක් වැදගත්...

    1938 වසරේදී තමයි අපේ රටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබුයේ. ඒ ගැන විස්තර පසු ලිපියකින් ඉදිරිපත් කරන්නම්. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබු අතර එම බලවේග දුම්රියේ එන්ජින් කට්ටලය ඉතා හොඳ තත්වයෙනුයි ඒ වන විටත් තිබුණෙ.

අංක 589 දරණ M3 ජයන්ති එන්ජිම
    මේන්න මේ එන්ජින් කට්ටලය තමයි M3 එන්ජිම සැලසුම් කිරීමේ මුලික අදහස පැමිණෙන්නට හේතුව. ඒ 1956 වර්ෂයේදී. අන්න ඒ නිසයි 99% ශ්‍රී ලාංකික නිපැයුමක් වන්නෙ. බල සැපයුම් එන්ජිම වෙනත් දුම්රියක එකක්. මේ වෙනුවෙන් ප්‍රමුඛතාවය ගෙන කටයුතු කලේ එවකට රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන ලද රාජ් ගෝපාල් මහතායි. මෙම එන්ජින් නිපදවීමට සැලසුම් කෙරැණේ ෂන්ටින් කටයුතු  (දුම්රිය අංගන වලදී මැදිරි එහා මෙහා ඇදගෙන යාම, ඒවා ගාල් කීම ආදී කටයුතු) සඳහා යොදවා ගැනීමේ අදහසින්. ප්‍රමාණයෙන් M3 අනෙකුත් සහෝදර එන්ජින් වලට වඩා කුඩායි. 

මේ දැක්වෙන්නෙ M3 හි විස්තර
  • පන්තිය                       :-  M3
  • බර                            :-  ටොන් 47
  • නිෂ්පාදනය                  :-  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
  • උපරිම බලය               :-  අශ්ව බල 180 (90hp x 2 engines)
  • දුම්රිය එන්ජින් වර්ගය   :-  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම     :-  Williams & Robinson - Type-H6
  • Weel Arrangement   :-  Bo-Bo
  • තිරිංග පද්ධතිය            :-  Vacuum
  • උපරිම වේගය             :-  55mph
  • වර්ණය                      :-  ලා නිල්, තද නිල්, රීදී පැහැය සමග කහ පැහැ පටියක්
    කෙසේ වුවත් යම් යම් දේශපාලනික මැදිහත් වීම් නිසා මෙම M3 එන්ජිම ෂන්ටින් කටයුතු වලින් බැහැරව මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන්නට දෙපාර්තමේන්තු බලධාරීන්ට සිදුවුණා. 1956 වසරේ පත්වුන නව රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා වු ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ ඉල්ලීමට අනුව (එතුමන් නියෝජනය කලේ මැදවච්චිය ආසනයයි) මෙම දුම්රිය එන්ජිම එම ප්‍රදේශයේ මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන්නට දෙපාර්තමේන්තුවට සිදුවුනා. මේ අනුව මෙම එන්ජිම අනුරාධපුර-මැදවච්චිය සහ අනුරාධපුර-මහව අතර ධාවනය සිදු වුනා. 

    පලමුව නිපදවුන M3 එන්ජිම "ජයන්ති" ලෙස නම් කරන ලද්දෙ 1956 වසරේ යෙදී තිබුණ බුද්ධ ජයන්තිය සිහිගැන්වීම වෙනුවෙනුයි. මෙම එන්ජිම 1956 සැප්තැම්බර් 05 වන දින ප්‍රවාහන හා වැඩ අමාත්‍යවරයා වු ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ අතින් විවෘත කර ජනතා සේවය සඳහා යොදවන ලද අතර එය ප්‍රදේශයේ මගී අවශ්‍යතා වෙනුවෙන් වෙන් කෙරුණා.

    කෙසේ වෙතත් ෂන්ටින් කටයුතු වෙනුවෙන් සැලසුම් කරන ලද එන්ජිම මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා දෙපාර්තමේන්තුවට නොයෙක් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා. අධික ලෙස රත් වීමත් වෙනත් විවිධ තාක්ෂණික ගැටලු රාශියකුත් ඉතා සුලු කාලයකදීම පැන නැගුණා. (ෂන්ටින් කටයුතු වලදි බොහෝවිට එන්ජිමක් ධාවනය වන්නේ කුඩා කාලයන් සඳහායි. මෙහිදී එන්ජිම එහා මෙහා යන්නෙත් අඩු දුර ප්‍රමාණ වලදී නිසා අනවශ්‍ය රත්වීම් වලින් තොරව එන්ජිමට අවශ්‍ය විවේකය සහ සිසිලනය ලැබෙමින් ධාවනය සිදුකල හැකියි.) මේ හේතුව නිසා දෙපාර්තමේන්තුවට සිදුවුනේ මුලින් නිපදවූ අංක 589 දරණ එන්ජිම නැවතත් ප්‍රතිනිර්මාණය කරන්නයි.

    1957 වසරේදීම තවත් M3 පන්තියේ එන්ජිමක් (590) රත්මලාන කර්මාන්ත ශාලාවේදීම නිපදවන ලද අතර මෙම 589(ජයන්ති) සහ 590 එන්ජින් ද්විත්වය වසර 10ක් පමණ ධාවනය කර ඇති බව සඳහන්වෙනවා. පසුව ධාවනයෙන් අත්හැර දමා රත්මලාන කර්මාන්ත ශාලා භුමියේ කැලැබදව දිරා යමින් තිබුණ මෙම රැකගත යුතුව තිබූ වටිනා සම්පත 2002 වසරේ දිනයක ඉතා අවාසනවන්ත ලෙස පැරණි යකඩ සඳහා කපා අලෙවි කෙරුණේ කීර්තිමත් සංධිස්ථානයක්ව සුරැකීමට තීබූ තවත් ප්‍රෞඩ මං සලකුණක පරිච්ඡේදය එසේ අවසන් කරමිනුයි. අපගේ ඉදිරි පරම්පරාවට M3 එන්ජිම දැක ගැනීම හැකිවනුයේ ඡායාරෑප කිහිපයකින් පමණක් වීම කණගාටුවට කාරණයක්.

ස්තූතිය :-
මෙම ලිපිය සඳහා තොරතුරු සොයා යාමේදී විශේෂ සහයක් ලබා දුන් නලීන් අබේසිංහ සොයුරාට විශේෂ ස්තුතිය පිරිනැමේ.

ආශ්‍රිත ලිපි :-

Friday, December 17, 2010

M2 දුම්රිය එන්ජිම ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....

    ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න අදත් ආවා තවත් එන්ජිමක් ගැන විස්තර අරගෙන. M1 එන්ජිම ගැන ලියපු ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර බ්ලොග් එක හරහා වගේම පුද්ගලිකවත් ලැබෙනවා. ඒ හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් අංශයක් ලෙස අපේ දුම්රිය සේවය ඉතා වැදගත්. කලින් කලට විවිධ වෙනස්කම් ඔස්සෙ නවීකරණය වූ එහි විවිධ තොරතුරු ඔබට සිංහලෙන් ගෙන ඒමයි මෙහි අරමුණ. අපේ දුම්රිය ගැන ඉංග්‍රීසි බසින් පලවෙන වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් තිබුණත් සිංහලෙන් ලියවුන ඒවා ඇත්තෙ ඉතා අතලොස්සක්. එහි අඩුව මදකින් හෝ පිරවීම තවත් එක් බලාපොරොත්තුවක්. මෙම ලිපිපෙල ලීවිමේදී ඇතැම් ඡායාරූප සහ විස්තර අන්තර්ජාල ඔස්සේත් විවිධ දැනහැඳිනීම්කම් ඔස්සේ විවිධ පුද්ගලයන්ගෙනුත් සපයා ගන්නා බවත්, ඒම ඡායාරූප වල අයිතිය ඒම අදාල අඩවි වල ප්‍රකාශකයන්ට හිමිවිය යුතු බවත් ප්‍රකාශ කල යුතුයි.

අද ඔබට ගෙන එන්නෙ ශ්‍රී ලංකාවෙ අපට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන තවත් පතාක යෝධයෙක් ගැනයි. නමින් ඔහු M2. මෙහෙම කිවුවට බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි. 2004 වසරේ සුනාමි ව්‍යවසනයට මුහුණ දුන් දුම්රිය ඔබට මතකද? එහි එන්ජිම ඔබට මතක ඇත්නම් එය M2 වර්ගයේ එන්ජිමක්. ඉතින් අද ඔබට ඉදිරිපත් කරන්නෙ එම වර්ගයේ එන්ජින් ගැන විස්තරයක්. මෙයත් දුම්රිය ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කල අතර තවමත් දුම්රිය සේවයේ වගකීම් අතුරෙන් සැලකිය යුතු කොටසක් තම උරමත හොවාගෙන තම බාල සොයුරන් සමග තරග වදින පතාක යෝධයෙක්.

කැනඩාවේ ජෙනරල් මෝර්ටර්ස් (General Motors-Canada) නැමැති සුප්‍රකට සමාගමේ නිශ්පාදනයක් වන මෙය අපේ රටට ලැබෙනුයේ 1954 වසරේදී. ඒ "කොළඹ ක්‍රමය" හෙවත් The Colombo Plan නමැති විදේශ ආධාර වැඩ සටහන ඔස්සේයි. මෙයත් Diesel-Electric වර්ගයේ එන්ජිමක්. G12 වර්ගයේ එන්ජින් වන මේවා ආනයනයෙන් පසුව මෙහිදී M2 ධාවන පන්තිය යටතේ සේවයට යෙදවුනා. වර්ණ ගැන්වී තිබුණේ කොල සහ රතු පැහැයෙන්.

 එම M2 ධාවන පන්තිය M2,M2a,M2b,M2c සහ M2d ලෙස උප කාණ්ඩ පහකට වෙන් කර තිබෙනවා. එසේ ගෙන්වා ඇති මුලු එන්ජින් ගණන 14ක්. ඉතාම සතුටුදායක කාරණාවනම් මෙසේ ගෙන්වු එන්ජින් 14න් 13ක්ම තවමත් සාර්ථකව ධාවනයට යෙදවීම. එක් එන්ජිමක් පමණක් ධාවනයෙන් ඉවත් කෙරුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා නැවත අලුත්වැඩියා කල නොහැකි නිසයි.
මේ එන්ජින් පිලිබඳ විස්තර දැන් බලමු.
  • පන්තිය                      :-  M2 
  • බර                            :-  ටොන් 79
  • නිෂ්පාදනය                :-  General Motors (G.M.D.) (කැනඩා සමාගම)
  • උපරිම බලය              :-  අශ්ව බල 1425
  • දුම්රිය එන්ජින් වර්ගය:-  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම   :-  General Motors - 1425hp GM V12 12-567c (2 stroke)
  • උපරිම වේගය            :-  112km/h
  • වර්ණය                      :-  පළමුව රතු හා කොල පැහැය(UNP රජය),  පසුව ලා නිල්, තද නිල්, රීදී  .  ..                                    පැහැය සමග කහ පැහැ පටියක්
මෙයින් M2,M2a,M2b සහ M2d s එන්ජින් වල ඇත්තේ A1A-A1A වර්ගයේ axle arrangement වන අතර M2c වල ඇත්තේ Bo-Bo Axle arrangement. (Axle arrangement ගැන දැනගන්න මෙයින් යොමුවෙන්න). තවද මෙහි Sand Box පහසුකමත් අඩංගුයි. එමගින් මාර්ගය ලිස්සන අවස්ථාවේදී මාර්ගයට වැලි එකතු කර ඝර්ෂණය වැඩි කරගන්නවා.
  
මෙසේ ගෙන්වූ මුල්ම එන්ජිම අංක 569 යටතේ එන්ජින් බල ඇණියට යෙදවුනා. එම මුල්ම එන්ජිම තම මංගල ගමන සනිටුහන් කලේ 1954 අප්‍රේල් මස 24 වැනි දින රුහුණු කුමාරිය සමග හාද වී ඇය මාතර දක්වා කැඳවාගෙන යාමෙන්. එසේ ඇරඹුණු M2 එන්ජින් වල සේවය අදත් වසර 50 ස්වර්ණ ජයන්තියද පසු කරමින් ඉතා සාර්ථක ලෙස සේවයේ යෙදෙන එක දුම්රිය කෙරෙහි උනන්දුවක් ඇති නොමද සතුටට හේතුවන කාරණයක්. 
මෙහිදි මෙම එන්ජින් වල සුළු වෙනස්කම් කිහිපයක් පමණයි සිදුකොට ඇත්තෙ. ඉදිරිපස ආරක්ෂක බාධා නිවාරකය(බපරය) හෙවත් Cowcatcher ඉවත් කර ඒ වෙනුවට W1 එන්ජිමෙහි එම කොටස යොදා තිබීමත් ඉදිරිපස ආලෝක ලාම්පු වෙනස් කිරීමත් ආදීය සුලු වෙනස්කම් පමණයි. දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ මනා කැපවීමත් උසස් නඩත්තුවත් නිසා මේවා සාර්ථක ලෙස (කැළණිවැලි මාර්ගයේ හැරුණුකොට අන් සියලු මාර්ගවල) ධාවනයේ යෙදෙනවා. එබැවින් මෙතෙක් ගෙනා සාර්ථකම දුම්රිය එන්ජිම ලෙස මෙය හැදින්වෙනවා.
මෙම එන්ජින් සඳහා විවිධ නම් දෙපාර්තමෙන්තුව මගින් ලබා දී තිබුණා. එසේ ලබා දුන්නේ කැනඩාවේ විවිධ පලාත්වල නම්. එම විස්තර පහත දැක්වෙනවා.

අංකයනමගෙන්වූ වසරධාවන පන්තියවිශේෂ කරුණු
569Ontario 1954M21956.04.24 රුහුණු කුමාරි සමග මුල්ම ගමන
 570 Alberta 1954M21956.04.24 යාල්දේවී සමග මුල්ම ගමන,
*note 1
 571 Saskatchewan 1954M21956.04.24 උඩරට මැණිකේ සමග මුල්ම ගමන,
 **note 2
 572 British Colombia 1955M2 _
 573 Quebec 1955M2 _
 591 Manitoba 1956M2a **note 3
 592 Nova Scotia 1956M2a _
 593 New Brunswick 1956M2a _
 594 Prince Edward Island  1958M2b _
 595 Newfoundland 1958M2b _
 626 Montreal 1961M2d මුල්ම ගමන 1961.08.08, ***note 4
 627 Vancouver 1961M2c මුල්ම ගමන 1961.08.04, ***note 4
 628 කන්කසන්තුරේ 1966M2d ***note 5
 629 ගාල්ල 1966M2d ***note 5


*note 1 :- සිවිල් යුද්ධය නිසා 1992 සිට 1996 දක්වා කන්සන්තුරේ ගාල්කර තිබී පසුව නැව් මගින් කොළඹට ගෙනවිත් රත්මලාන කර්මාන්ත ශාලාවේදී පිලිසකර කර ධාවනයට යොදන ලදී. නැවතත් 2007.06.07 පූනානි හිදි බිම් බෝමිබයකට අසුවී සුලු හානි සිදුවිය.
*note 2 :- යාල්දේවි දුමිරිය 1985 ජනවාරි 19 දින LTTE ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම එන්ජිම නැවත අලුත්වැඩියා කල නොහැකි ලෙස විනාශ විය. 
*note 3 :- 2004 දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යවසනයට හසුවූ පසු නැවත අලුත්වැඩියා කර 2008 දෙසැම්බර් 26 දින නැවත ධාවනයට එක් කරන ලදී.
*note 4 :- උඩරට ධාවනයට පමණක් යෙදවේ. (මාතලේ මාර්ගය හැර).
*note 5 :- මේවා පළමුව සිමෙන්ති ප්‍රවාහනයට ගෙන ආ මුත් දැන් මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත. මෙම එන්ජින් දෙක ඇමරිකාවේ නිෂ්පාදිතයි. මෙම එන්ජින් දෙකට අදාල සිමෙන්ති සමාගම් වෙනුවෙන් කන්කසන්තුරේ සහ ගාල්ල ලෙස සිංහල නම් යොදා තිබීම විශේෂත්වයකි.

ඡායාරූප පෙල....


මහනුවරට ලඟාවන M2 එන්ජිමක් සහිත දුම්රියක්.....




මේ දැක්වෙන්නේ 573 මෙරටට ඒමට පෙර කැනඩාවේදී...


595 මෙරටට ඒමට පෙර කැනඩාවේදී..


(593 විය යුතුයි) පෙර පැවති වර්ණය...

569 Ontario......

569 මනම්පිටිය පාලම මත....

570 Alberta බෙන්තොට දුම්රිය ස්ථානයේදී......

594 Princes Edward Island

595 Newfoundland

626 Montreal නානුඔයදී....

626 Montreal කොළඹ කොටුවේදී....


627 Vancouver නානුඔයදී.......

629 "ගාල්ල" එන්ජිම මාතර බලා යාමට සූදානමින් ගාලු දුම්රිය පොලේදී....


628 "කන්කසන්තුරේ" එන්ජිම



627 Vancouver නානුඔය පාලම මතින් බදුලු දෙසට...



සුනාමි ව්‍යවසනය නිසා පෙරැලුණු 591 Manitoba.......


591 Manitoba යලි පණ ලැබ.........
.
(මෙහි පල කර ඇති සියළු ඡායාරූප වල අයිතිය පහතින් දක්වා ඇති ඒවාට අදාල මුල් ලිපිවල හිමිකරුවන් සතුය.) 

ලිපියට තොරතුරු සහ ඡායාරූප :-

http://www.railwaymuseum.lk/
http://www.facebook.com/photo.php?fbid=1345201488485&set=o.48455420684
http://www.colombo-plan.org/resources/newsletters/FocusJanuary2005.pdf
http://www.srilankadot.com/wiki-Sri_Lanka_Railways
http://gyan.slrfc.org/locoalberta.htm
http://gyan.slrfc.org/locoemd.htm
http://www.srilankanlocos.com/about/abt.html
http://emdexport.railfan.net/asia/srilanka.html
http://www.flickr.com/photos/yimhafiz/sets/72157607657699571/
http://www.srilankanlocos.com/intro.html



Sunday, December 12, 2010

M1 එන්ජිමේ තවත් දුර්ලභ ඡායාරූප කීපයක් ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....

ලංකා දුම්රිය සේවයේ විවිධ තොරතුරු ගැන කතා කරන ලිපි පෙලේ මෙතෙක් පලවුනු ලිපි කියවපු සහ ඒවාට කමෙන්ට් දැමීමෙන් මාව ධෛර්යයමත් කරන ඔයාල හැමෝටම මුලින්ම මං ස්තුති වන්ත වෙනවා. ලියන එක සතුටක්. ඒ ලියන දේවල් කවුරුහරි කියවනවනම් ඒවයෙ අඩුපාඩු පෙන්නනවනම් ඊට වඩා සතුටුයි.

හ්ම් දැන් මාතෘකාවට එමු. අපි අන්තිමට කතා කරේ M1 එන්ජිම ගැනනෙ. ඊලග ලිපියට කරුණු සොයමින් සිටින අතරෙ මට ලැබුණා ඉතා වටිනා, ඒ වගේම ඉතාමත් දුර්ලභ ඡායාරූප පෙලක්. ඉතින් මං හිතුවා ඒවා මං වගේම දුම්රිය ක්ෂේත්‍රෙය් උනන්දුවක් තියන ඔයාල එකක් බෙදාගන්න. මේ පහත දැක්වෙන්නෙ එම ඡායාරූප.

ඉතාම දුර්ලභ අවස්ථාවක්- M1 එන්ජිමක් ගොඩබෑම හෝ පීලිගත කිරීමක් විය යුතුයි.

මේ තවත් එවන් සේයාරුවක්...

මේ සූදානම ඉදිරියට ඇදෙන්නයි...

මේ ජායාරූපය නම් පැහැදිලි නෑ....ඇතැම් විට මේවා අපනයනයට පෙර එංගලන්තයේදී ගත් එකක් විය හැකියි..

උඩරට මාර්ගයේ......

කොහොමද ලස්සන?

ප්‍රමාණයෙන් වගේම හැකියාවෙනුත් යෝධයෙක්....  :D

ගමනක් අතරමග...


මේ ඡායාරූපය පෙර ලිපියෙත් පලවුණා මතකද?

මේ අපි කවුරුත් දන්නා යාල්දේවී දුම්රිය බව වෙනත් කෙහේ හෝ ලිපියක හෝ කැලැන්ඩරයක දුටුවා මට මතකයි....

මේත් යාල්දේවියම තමයි....

අනිත්‍යය පසක් කොට...


සොයුරෙකුගේ උදවුවෙන් මේ එන්නෙ අවසන් ගමන් යන්නටද?







තවත් ලිපියකින් හමුවෙමු....


ඡායාරූප වල අයිතිය http://brushlanka.slrfc.org  සහ  http://www.phantasrail.com/sl_odds_and_ends.htm සතු වන අතර M1 එන්ජිම පිළිබඳ විස්තර අඩංගු මුල් ලිපිය සඳහා සබැඳිය  මෙතැනින්......




Sunday, December 5, 2010

පසුවදනක්- ශ්‍රී ලංකාවේ පළමු ඩීසල් දුම්රිය එන්ජිම ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....



ඊයේ දිනයේ මම ලියපු ශ්‍රී ලංකාවේ පළමු ඩීසල් දුම්රිය එන්ජිම ~  අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා.... ලිපියට හොද ප්‍රතිචාර ලැබුණා හැමෝටම ගොඩක් ස්තුතියි. එහි මට ඊයෙ ලැබුණු තවත් අලුත් තොරතුරු ටිකක් ඇතුලත් කරා. එම ලිපිය කියවීමට මෙතනින් පිවිසෙන්න.


ස්තුතියි.

Saturday, December 4, 2010

ශ්‍රී ලංකාවේ පළමු ඩීසල් දුම්රිය එන්ජිම ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා....


  ඔන්න එහෙනම් ආවා දෙවනි කෝච්චි කතාව අරගෙන.අද කියන්න බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රි ලංකා දුම්රිය ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සටහන් වුන දෙයක් ගැනයි.


ආරම්භක යුගයෙ ඉදන් ඒ කියන්නෙ 1858 ඉදන් 1953 පමණ දක්වා ශත වර්ශයක් පමණ කාලයක් අපේ රටේ දුම්රිය සේවය රදාපැවතුණ කොදු නාරටිය වුනේ (ගල් අගුරු දවා ජලය රත්කිරීමෙන් ඉපදෙන) වාෂ්ප බලයෙන් ධාවනය වුන වාෂ්ප එන්ජින්. රටේ ප්‍රවාහන සේවයට මනා සහයක් ලබාදෙමින් මේ දැවැන්ත යෝධයන් තම සේවය නොඅඩුව සියවසක් පමණ කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දුන්නා.
කෙසේ වෙතත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ අපහසුතාවයන් හේතුකොටගෙන 1953 වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා වූ  බී.ඩී රම්පාල (පසුව සාමාන්‍යාධිකාරී(1955-1970)-පළමු සිංහල සාමාන්‍යාධිකාරීවරයා)  මැතිතුමාගේ මූලිකත්වයෙන් ඩීසල් එන්ජින් ගෙන ඒමට පිඹුරුපත් සකස් කලා.
ඒ අනුව 1953 වසරේදී මුල්ම ඩීසල් එන්ජිම ලංකාවට ගෙන ආවා. M1 කාණ්ඩය යටතේ වර්ග කරනලද මෙම එන්ජිම අලංකාර රතු පැහැයෙන් යුක්ත වූ අතර එහි විස්තර මෙසේයි.

පන්තිය                     :-  M1
නිෂ්පාදනය                :-  Brush Bagnall (මහා බ්‍රිතාන්‍ය සමාගම)
බර                           :- ටොන් 88
උපරිම බලය              :-  අශ්ව බල     1000
දුම්රිය එන්ජින් වර්ගය :-  Diesel Electric
බල සැපයුම් එන්ජිම   :-1000hp Mirrlees V12 JS12VT (4 stroke)

සාමාන්‍යෙයන් ඩීසල් දුම්රිය එන්ජිමක් ක්‍රියා කරන්නෙ මෙහෙමයි. ඔය අපි දකින එන්ජිම ඇතුලෙ තියනව ඉතා බලවත්, ඩීසල් එන්ජිමක්. එය ක්‍රියා කරන විට ඊට සම්බන්ධ කර ඇති විශේෂ ජෙනරේටරයක් ක්‍රියාත්මක වෙනවා. ඉන් ඉපදෙන විදුලිය පාලක පරිපථයන් ඔස්සේ ගමන් කර දුම්රිය එන්ජිමේ රෝද වලට සම්බන්ධ කර ඇති ට්‍රැක්ශන් මෝටර් වලට ලැබුනම එම මෝටර කරකැවෙනවා. එතකොට දුම්රිය එන්ජිමේ රෝද කරකැවීමෙන් දුම්රිය එන්ජිම ධාවනය කල හැකියි. මේ ක්‍රමය භාවිත වන එන්ජින් තමයි පොදුවේ Diesel Electric එන්ජින් බලෙස හැදින්වෙන්නෙ.

මෙහෙම ලංකාවට ගෙන්වපු මුල්ම එන්ජිමට ලැබුණ අංකය තමයි 539. (සෑම එන්ජිමකම තමන්ට හිමි අංකය එහි ඉදිරියේ සටහන් කරල තියෙනව). එම දුම්රිය එන්ජිම සාර්ථක ප්‍රතිඵල පෙන්නුව නිසා දෙපාර්තමේන්තුව මෙම වර්ගයේ තවත් එන්ජින් 24ක් ගෙන්වීමට කටයුතු කලා. මෙසේ ගෙන්වූ එන්ජින් 25 (අංක 539 සිට 563 දක්වා)  බල ඇණිය රටේ සතර දිග් භාගයේම  දුම්රිය සදහා යෙදවුනා. Double-Headed (එකවර එන්ජින් දෙකක්) ආකාරයට මෙම එන්ජින් උඩරට දුම්රියන් සදහාද ඉතා සාර්ථක ලෙස ධාවනයට යෙදවුනා. 

මෙසේ අප දුම්රිය සේවයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කල M1 පන්තියේ දුම්රිය එන්ජින් 1953 සිට 1983 දක්වා අඛණ්ඩව වසර 30ක් පමණ කාලයක් තම අගනා සේවය සපයා තිබෙනවා. එම දශක තුනක කාලය තුල මේවා අති සාර්ථක එන්ජින් ලෙස කාගෙත් පැසසුමට ලක් වුණා. කෙසේ වුවත් 1983 වසරේදී එතෙක් ධාවනයට යොදවා තිබුණ මෙම දැවැන්තයින් විශ්‍රාම ගැන්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කලේ මෙයින් ලබා ගත හැකි උපරිම සේවය ඒ වන විට ලබාගෙන තිබීම නිසා උපරිම ඒවායේ කාලසීමාව අවසන් වීමත්, අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට අපහසු වීමත් නිසා තව දුරටත් නඩත්තු කල නොහැකි තත්වයට පත්වීමෙන්,  ඒවා තව දුරටත් ධාවනය කරවීම ලාභදායී නොවීම නිසා බව තමයි දැනගන්නට ලැබුණෙ.
මෙසේ කලක් පතාක යෝධයින් ලෙස වැජඹුණු මෙම දැවැන්තයින්ගේ වර්තමාන තත්වයනම් අතිශයින්ම ඛේදනීයයි. එම එන්ජින් 25න් මේ වන විට පැහැදිලිවම ඉතිරිව ඇත්තෙ ඉතා සුලු ප්‍රමාණයක්. ඒවාත් වහාම සංරක්ෂණය කලයුතු තත්වයේයි පවතින්නෙ.මෙවන් වටිනා උරුම සුරැකීම අතින් අප රට පසූගාමී වීමනම් අතිශයින්ම ඛේදනීයයි. 


මේ ඉහල දැක්වෙන්නෙ අංක 560 දරණ එන්ජිම චාවකච්චේරි දුම්රිය පොලේදී ගන්නා ලද ඡායාරෑපයක් බව මෙහි සටහන් වෙනවා. බොහෝ විට මේ යාල් දේවි දුම්රිය විය හැකියි. මෙය ඡායාරැපයට නැගුවෙ කවුදැයි සටහන්ව තිබුනෙ නෑ.



මේ ඉහල දැක්වෙන්නෙ අංක 551 දරණ එන්ජිම කොණ්ඩවිල් දුම්රිය පොලේදී 1984 ගන්නා ලද ඡායාරෑපයක්



මෙම ඡායාරෑපය අරගෙන තියෙන්නෙ ඩග්ලස් එදිරිසිංහ නැමති අයෙකු විසිනුයි. ඒ 1964 වසරේදි. ස්ථානය තලවකැලේ සහ කොටගල අතර ස්ථානයකදි බව සටහන් වෙනවා.


මෙන්න අද තත්වය

 මේ නිහඩව බලාසිටින්නේ එදා දැවැන්ත සේවයක් ඉටුකල පරපුරේ තවත් එක් සලකුණක්. (ඉහත මුල්ම ඡායාරූපයේ ඇති 560 එන්ඡිමේ මීට වසර කීපයකට පෙර තත්වය)ග අද වන විට කුමන තත්වයෙන් තියෙනවාදැයි ද දැනගන්නට නෑ.




මෙම එන්ජිමේ අංකය 560 හෝ 550 නමුත් පැහැදිලි නෑ. 

පසු සටහන.

ඊයේ දිනයෙදි ලියන ලද මෙම සටහන පල කලාට පසුව තවත් කරුණු ටිකක් දැනගන්නට ලැබුණා. පහත ඡායාරෑපය බලන්න.
(අත්‍යවශ්‍ය හේතුවක් නිස මෙහි තිබු ඡායාරූපය ඉවත් කල බව කරුණාවෙන් සලකන්න.)
මේ අනුව ඉතා පැහැදිලිව පෙනෙන අයුරින් මෙම දැවැන්තයින් සියලු දෙනාගේම ඉරණම කැබලි බවට පත් වීමයි. අනාගත පරපුරට දැක ගැනීමට ලැබෙනුයේ M1 හි ඡායාරෑපයන් පමණයි. අගනා සම්පතක් ලෙස රැකගතයුතු වටිනා සම්පත් මෙසේ විනාශ කර දැමීම ජාතියේම අවාසනාවක්..  :(      
............................................................
මෙම ලිපියට සබැදි,
(තවත් කෝච්චි කතාබහකින් හමුවෙමු)

Thursday, December 2, 2010

අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...

ඔන්න යාලුවනේ අද ඉදන් මං පටන් ගන්නවා මං ආසම ක්ෂේත්‍රයක් (මං විතරක් නෙමේ බොහෝ දෙනෙක් කැමති  ක්ෂේත්‍රයක්  ගැන ලියන්න. ඒ තමයි අපේ මේ පුංචි දිවයින තුල වෙසෙන කොයි කාගෙත් හිතවතා - කෝච්චිය. :)
 බාල මහලු වෙනසක් නැතුව කාගේත් නැමැත්ත දිනාගත්තු ලාභදායී වගේම විශ්වාසවන්ත ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙන අපේ පුංචි රටේ දුම්රිය සේවය සම්බන්ධ විවිධ තොරතුරු ටිකක් ඔබ සමග බෙදාගන්න. වැඩිමනක්ම තාක්ෂණික තොරතුරු.
 වර්ෂ 1858 වගේ ඈත අතීතයකදී ලංකාව බරහිර අධිරාජ්‍යවාදීන් ලංකාව පාලනය කරන සමයෙදි ඇරඹුන අපේ දුම්රිය කාලෙත් එක්කම විවිධ වෙනස්කම් සහ නවීකරණයන්ට ලක් වුණා. ඒ කෙසේ වුවත් තවමත් අපේ රටේ දුම්රිය මාර්ග පද්ධතියෙනම් සැලකිය යුතු වර්ධනයක් වෙලා නැහැ. ඒ වුනත් තිබෙන මාර්ග පද්ධතිය මගින් මේ වන විටත් අපේ රටේ වැසියන්ට විතරක් නෙමේ අප රටට එන සංචාරකයන්ටත් සෑහෙන සේවයක් සැලසෙනවා.

  ලංකාවේ බොහෝ සුන්දර තැනිතලා, කදු මිටියාවත් ඔස්සේ ඇදීයන උඩරට දුම්රිය මාර්ගයේ වරක් හෝ දුම්රියෙන් ගමන් කරන්නට ඔබ වාසනාවන්යෙක් වෙලා තියෙනව ඇති කියල මං හිතනවා. උඩරට මාර්ගය විතරක් නෙමේ. මුහුදුකරය ඔස්සෙ රුහුණු රටටත් රට මැද තැනිතලාවන් ඔස්සෙ රජරට හරහා උතුරුකරයටත් ඇදෙන මගේ දුම්රියෙන් ගමන් කරන එක මොනතරම් සුන්දර අත්දැකීමක්ද කියල දන්නෙ ඒ වාසනාව උදාකරගත්ත අය විතරයි. තාමත් ඒ අවස්ථාව ඔබට උදා වුනේ නැත්තම් මේ ඉදිරියට එන නිවාඩු කාලෙ තමයි ඒකට ලැබෙන හොදම අවස්ථාව ඒ සුන්දර අත්දැකීම විද ගන්න.
 අපිට තවත් සතුටුවෙන්න කාරණාවල් තියනවා. ඒ තමයි පහුගිය සමයෙදි අක්‍රීයව පැවතුන උතුරු දුම්රිය සේවය (වවුනියා-කන්කසන්තුරේ) වගේම මැදවච්චි-තලෙයිමන්නාරම් දුම්රිය මාර්ග දෙක හැකි ඉක්මනින් ගොඩ නගන්නත් කටයුතු යොදා ඇති වග සහ මාතර-කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම් ආරම්භ කර ඇතිවග. ඒ කියන්නෙ නුදුරු අතාගතයෙදිම අපිට පුලුවන්වෙයි   අපේ මේ පුංචි දිවයිනේ එක කොනක ඉදලා අනෙක් කොන දක්වා එකම කෝච්චියකින් යන්න. ඒක අනිවාර්යයෙන්ම චමත්කාරජනක අත්දැකීමක් වේවි.
(තවත් කෝච්චි කතාබහකින් හමුවෙමු)

Wednesday, December 1, 2010

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් ආවා...



    වසරක පමණ දිගු නිහැඩියාවකට පස්සෙ මගේ බ්ලෙග් එක පැත්තෙ එන්න හිතුනා. පහුගිය කාලෙ බ්ලොග් එකක් ලියන්න තියා ඉස්සර වගේ නිදහසේ බ්ලොග් එකක් ලියන්නවත් අවකාශයක් තිබුණෙ නෑ. ඒ ගතවුණු කලෙ ඇතුලත සිංහල බ්ලොග් කලාව තුල සෑහෙන වර්ධනයක් වෙලා තියෙන බව දැක්කම සිතට ඇතිවෙන්නෙ සතුටක්. තමන්ගෙ අදහස්, කවි සින්දු නිර්මාණ, තාක්ෂණික, දේශපාලණික මතවාද ආදී විවිධ තේමා ඔස්සෙ මේ වන විට බ්ලොග් රචකයන් බොහෝ දෙනෙක් පොදි බැදගෙන ඉන්න සිටිනවා.
   ඒ වගේම බ්ලොග් රචකයන්ගෙ හමුවකුත් ලබන මාසෙ පැවැත්වෙන බව දැනගත්තම සැහෙන්න සතුටක් ඇතිවුණා පළමුවෙනි හමුවටනම් යන්න බැරි වුණත් මෙවර හමුවටනම් යන්න තමයි හිතාගෙන ඉන්නෙ. මේ හමුව අපේ බ්ලොග් මිතුරන්ට ඉතා වැදගත් අවස්ථාවක් වේවි.
    පහුගිය කාලෙ තුල සිදුවුන සමහර සිදූවීම් එක්ක බ්ලෙග්කරණයෙන් විතරක් නෙමෙයි තවත් බොහෝ දෙවල් වලින් ඈත් වෙලා ඉන්න තීරණය කලේ. ජීවිතය කියන්නෙ හරිම පුදුම දෙයක්. කලකිරීමෙ පතුලටම වැටීලා හිටපු කාලෙකුත් තිබුණා. ඒත් දැන් ඒ හැම දෙයක්ම අමතක කරලා දාලා පුරුදු රටාවට හුරුවෙන කාලෙ, හිතුනා අයෙත් බ්ලොග් එක ලියන්න පටත් ගන්න ඕනෙ කියලා. 
  ඉතින් ඔන්න අද ඉදන් ඉඩ ලැබෙන හැටියට බ්ලොග් එකත් ලියනවා. ඒ කාලෙ මගේ බ්ලොග එක පැත්තෙ ඇවිත් මාව දිරිමත් කරපු හැමෝටමත් ස්තූති කරන්න ඕනෙ. ආයෙත් පුලුවන් වෙලාවට ඇවිත් යන්න කියලා ආරාධනා කරමින් දැනට නවතිනවා.