Sunday, June 12, 2011

මෙතැනින් මාරු වෙනු - මාරු වෙන්න ගිහින් මාරු වෙන්න වෙයිද?


ඊතලය

මාරු වෙන්න ගිහින් බෙල්ල කඩාගත්තු අය හැම තැනම ඉන්නවනේ. මේකත් එහෙම එකක් තමයි. හ්ම් සෑහෙන්න වැඩ අධික කාල යක් ඉදිරියට එන්නෙ. හුචස් අධ්‍යාපනේ අවසාන කාල පරිච්චේදය නොවැ. හුස්මක් කටක් ගන්නවත් ඉවරයක් නැහැ.  :) හුඟ කාලෙකින් මගේ අනික් බොලොග්ග දෙකට සලකන්න බැරි වුණා. හැමදාම කෝච්චි විතරද කියල හැමෝම අහනවා :D හේ.. හේ.. කෝච්චි විතරක් යෑ මහපාරෙ යන වාහනත් තියෙනවනේ. හැබැයි ඉතිං කෝච්චි වගේ සුන්දර වාහනයක් තියෙනවද මේ මිහිපිට? ;) මහපාර කිවුවම තමයි මතක් වුනේ. මහපාරත් එක්කම තියෙන දෙයක්නෙ කහ ඉර. කහ ඉර ගැන කියන්න ගියොත්නම් ඉවරයක් නෑ. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු වලින් 30% ක් පමණ සිදුවන්නේ කහ ඉර මතදි.

දිණමින පුවත්පතෙන්
මේ ලිපියට මුලාශ්‍රය මගේ සිතට ආවේ පහුගිය දවසක මම දැකපු සිදුවීම් දෙකක් නිසා. ළඟදි දවසක කොහෙ හරි යන්න පාරට ආව විතරයි දැක්ක දෙයින් මම එකපාරම ගල් ගැහුණා. ඒ මුකුත් නෙමේ. පාරේ මම හිටපු පැත්තෙ හිටපු ගෑනු කෙනෙක් එහා පැත්තෙ ආපු බස් එක දැකල හෙන ගහන්න වගේ එකපාරටම එතන තිබුණු කහ ඉර දීගේ අනෙක් පැත්තට පැන්නා. මොන පිස්සුවක්ද මන්දා මොලයක් නැතුවද කොහෙන පැන්නෙ ඊට අඩි 50ක් විතර ඈතින් ආපු කැබ් එක දැක දැකමයි මේ කාන්තාව පාර පැන්නේ.

කැබ් රියදුරාට හිතාගන්නවත් වුනේ නෑ.. ඔහු එකවරම තිරිංග යොදල රිය අනික් පැත්තට වාහන යන මංතීරුවට හැරෙවුවා. පැමිණි වේගය නිසාද කොහෙද කැබ්රිය මහ හඬක් නංවමින් ලිස්සලා ගිහින් පාරේ හරස් අතට කැරකිලා නතර වුනා. කැබ් රියදුරාගේ වාසනාවට ඒ වෙලාවේ අනෙක් පැත්තෙ කිසි වාහනයක් ලඟපාතක ආවෙ නැහැ. එහෙම වුනානම් කැබ් එකේ කෑලි තමයි හම්බවෙන්නෙ.

අවාසනාවන්තම සිදුවීම වුනේ කැබ්රිය පිටුපසින් ආපු මෝටර් සයිකලේට. මේ කිසිවක් නොදන්න මෝටර් සයිකල් කරුට එක්වරම සිදුවුනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්න ඇති. සාමාන්‍ය වේගයෙන් ආපු යතුරු පැදිය කෙලින්ම ඇවිල්ලා කැබ් එකේ වැදුනා. බයික් එකටවත් පදවපු කෙනාවත් අවුලක් වුනේ නැතත් බයික් එකේ පිටිපස්සෙ හිටපු තරුණයගේ දනිස්ස අර කැබ් එකේ දොරේ තදින්ම වැදුනා. ඉන් ඔහුගෙ දණහිස බිඳුනා. කැබ් රථයේ පැති දොරට සාමාණ්‍යෙයන් හානි සිදුවුනා. කැබ් එක රජයේ වාහනයක් නිසා එහි රියදුරාට ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නත් වෙයි මං හිතන්නෙ. අන්තිමට මෙලෝ සිහියක් නැති එක් අයෙක්ගෙ වැඩක් නිසා අහිංසකයෝ දෙන්නෙක් අමාරැවේ.

දෙවැනි සිදුවීම වුනේ සවස 7.30ට පමණ කොළඹ ඉඳන් ගාලුපාර ඔස්සේ පානදුරේට එද්දී. ඔය වෙලාවට ඉතින් සෑහෙන ට්‍රැෆික් එකක් තියෙනවනේ. අපි නම් බයික් එකේ එහෙන් මෙහෙන් දාලා ආවා. ;) සෑහෙන්න දිග වාහන පෝලිම් අස්සෙන් ආලා එන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. (දැං මට බනින්න එපා :D ) මොනව වුනත් දකින්න ලැබුණු එපාම කරපු දේ තමයි කහඉරෙන් පාර මාරු වෙන අයගෙ ක්‍රියා කලාපය. අරතරම් දිග ට්‍රැෆික් පෝලිම් තියෙද්දිත් සමහරු කහ ඉර හරහා පාර මාරු වෙන්නෙ ගාට ගාට. නිකම් යන්න වුවමනාවක් නැති ගානට. ඒ වගේ කීප දෙනෙක්ම බොහෝ රියදුරන්ගෙ දෝශාරෝපන වලට ලක්වුණා. වාහන නැවැත්තුවම හැකි ඉක්මනින් පාර මාරු වෙලා වාහන වලටත් යන්න ඉඩ සලස්සන එක පදිකයොන්ගෙත් වගකීමක්.

මේ සිදුවීම් දෙකම මම කිවුවෙ කහ ඉර ගැන අපේ බොහොමයක් දෙනා දරන ආකල්පය ගැන කියන්නයි. බොහෝ දෙනා (මගීන්) හිතාගෙන ඉන්නෙ කහ ඉර කියන්නේ තමන්ට සින්නක්කරේට ලියල දීපු බූදලයක් කියල. ඕන වෙලාවක ඇවිල්ල හෙන ගහන්න වගේ මාරු වෙනවා එක පාර. කහ ඉර උඩ කියල වේගයෙන් ආපු වාහනයක් එක වර නවතින්නෙ නැහැනෙ. (ඇතැම් රියදුරෝත් කහ ඉර ගැන නොසලකන අවස්ථාත් නැතුවා නෙමෙයි). තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් තමන් සැලකිලිමත් වෙනවනම් නිතර නිතර සිදුවෙන බෙහෝ අනතුරු වලක්වගන්න පුලුවන්.

කහ ඉරක දී,
ඔබ මගියෙක් නම්,
  • පාරේ කහ ඉර ආසන්නයේ එන වාහන සහ ඒවායේ වේගය පිළිබඳව මදක් අවධානය යොමු කරන්න. හැකිනම් ඔබට පාර මාරු වීමට අවශ්‍ය බව හස්ත සංඥා මගින් දැනුම් දෙන්න. එහෙත් වාහන නවත්වන තුරු ඉවසා සිටින්න.
  • විදුලි සංඥා සහිත ස්ථාන වලදී ඒ පිලිබඳ අවධානය යොමු කරන්න.
  • පෙලිකන් පදික මාරුවක් සහිත කහ ඉරක් නම්, අදාල බොත්තම ඔබා ඔබේ වාරය පැමිණෙන තුරු රැඳි සිටින්න.
  • අධික තදබදයක් සහිත ස්ථාන වලදී නිතර නිතර පාර හරහා මාරුවීම වාහන තදබදය තවත් වැඩි කරන නිසා මදක් ඉවසා සිටින්න.
  • උමං පදික මාරැ හෝ ගුවන් පාලම් සහිත ස්ථානයකදී නම් ප්‍රමාදය නොසලකා එම ස්ථාන වලින් පාර මාරු වීම ඔබේ ආරක්ෂාවට හේතුවේ.
  • කොයිම අවස්ථාවකදීවත් බසයකින් බැසගත් විගසම එම බසයට ඉදිරියෙන් හෝ පසුපසින් එකවරම පාරු මාරැ නොවන්න. ආසන්නයෙන් එන වාහන රියදුරන්ට ඔබ නොපෙනෙන නිසා අනතුරක් සිදුවීමට ඉඩ ඇත.
  • ආබාධිත හා වයස්ගත පුද්ගලයන්ට මාර්ගය හරහා යාමට ඔබේ උපකාරය අවශ්‍ය විටදී ඔවුනට ඔබේ සහය ලබා දෙන්න.

ඔබ රියැදුරෙක්නම්,
  • හැකි සෑම විටම කහ ඉරි ආසන්නයේදී ඔබේ වාහනයේ වේගය අඩු කරගන්න.
  • කහ ඉරි ඇති ස්ථාන පිලිබඳව අවධානයෙන් රිය පදවන්න. බොහෝ විට නාගරික ප්‍රදේශ වල මෙවන් ස්ථානවලදී වඩාත් ප්‍රවේශම් වන්න. පුද්ගලයින් එක් වරම පාර හරහා මාරු වීමට ඉඩ ඇත.
  • බස් රථ නැවතුම්වල බස් රථ නවත්වා ඇති විට වේගය අඩු කරගන්න. මගීන් එක් වරම පාර හරහා මාරු වීමට ඉඩ ඇත‍.
  • පාසල් ආසන්නයේදී කුඩා දරුවන් එක් වරම පාර හරහා පැනීමට ඉඩ තිබේ.
  • හැකි සෑම අවස්ථාවකදීම ඔබට පාලනය කරගත හැකි වේගයෙන් පමණක් රිය පදවන්න. එසේම රිය පදවන විටදී සම්පූර්ණ අවධානයම ඒ වෙත යොමු කරන්න. බීමත්ව හෝ ජංගම දුරකථන භාවිතා කරමින් හෝ අවධානය වෙනස් විය හැකි වෙනත් ක්‍රියාවන් වලි නිරත වෙමින් රිය පැදවීම මාරාන්තික  අනතුරු ඇති වීමට අත වනයි.

මහා මාර්ගයේදී විනයවත් ලෙස හැසිරීම ඔබගේ මෙන්ම අනෙක් සියල්ලන්ගේම ආරක්ෂාව සලසයි.

Thursday, April 28, 2011

බුදු අම්මෝ!!!! අත ලඟම ඉන්න යාලුවගෙන් මෙහෙම ආතල් එකක් ලැබිල නැද්ද?


හප්පේ.....  යාන්තං එග්සෑම් එකනං ඉවර වුණා. දැං ඉතිං පුදුම නිදහසක් දැනෙනවා. දෙයියනේ කියල ටික දවසක් නිදහසේ ඉන්න පුලුවන්. ටික දවසකිං බ්ලොගේ ලියන්නත් බැරි වුනානෙ. බ්ලොගෙ පටන් අරන් අවුරුදු දෙකටත් වැඩිද කොහෙද. ඒත් තාම පෝස්ට් 50ක් ලියලත් නෑ. :D ඒ තරං වේගෙන් කොහොම ලියනවද මන්ද මේ බ්ලොග් ලියන ඈයො  :D

අද බ්ලොග් එකෙං මං මේ කියන්න ලෑස්ති වුනේ මේ අපි ගොඩ දෙනෙක් මූන දීල තියෙන දෙයක් ගැන. මහා ලොකු දෙයක් නං නෙමේ. මේ ලඟදි මං අහපු කතාවක් නිසා මට හිතුන මේක කිවුවොත් හොඳයි කියල. මේක පරිගණක ඇක්ස්පර්ට්ලට නං ඒ හැටි වැදගත් නෑ ඕං. ඒ අය ආපහු යනවා හොඳයි. :D

කෝ බලන්න ඩෙස්ක්ටොප් කොම්පියුටරෙන් කරන්ට් එක වැදුන අය අත උස්සන්න  බලන්න.  :D

හේ හේ.. කොම්පීටරේ ඔන් කරල තියෙද්දී  සිස්ටම් යුනිට් එකේ (අර මහ තඩි පෙට්ටගම නොදන්න එකෙක් නෑනෙ) කොහෙන් හරි ඇල්ලුවනම්, එහෙමත් නැත්තං මොනිටර් එකේ තිරේ ඇල්ලුවම කරන්ට් එක ඒකපාරක් හරි වැදිල ඇතිනෙ හුඟ දෙනෙකුට.

යාන්තම් දැනෙන පුංචි කරන්ට් පාරක් වගේම චූ පිටවෙන්න තරං සැරට කරන්ට් වදින වෙලාවලුත් තියේ. වැදිල තියෙන අය දන්නව ඇතිනෙ දැනෙන සනීපෙ. :D 

දැං මොකද හිතෙන්නෙ. මේක කොම්පීටරේ, එහෙමත් නැත්තං පවර් සප්ලයි උන්නැහේගේ වරදක්ද? නැත්තං අර තඩි මොනිටර් රාජයගෙද වරද? (මම අහපු සිද්දියෙදි පරිගණක පිලිබඳ විශාරදයෙක් කිවුවෙ ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරන්න කියල. ඒ කිවුවෙ පවර් සප්ලයි පෙට්ටිය මාරු කරන්න කියල)  :D

මෙතන වරද තියෙන්නෙ කොහෙද කියල ඔයාලනම් දන්නව ඇති. ඒත් නොදන්න එක්කෙනෙක් හරි ඉන්නවනම් මේ එයාටයි කියන්නෙ. වරද තියෙන්නෙ 99% ම ඔබේ ගෙදර. මෙන්න මේ හේතු නිසා.



  1. පරිගණකය සඳහා දෙකූරු පේනුවක් (Two pin plug) සහිත Extension කෝඩ්(අර ප්ලග් බේස් ගොඩාක් තියෙන්නෙ) පාවිච්චි කිරීම.
  2. නිවසේ විදුලි පරිපථයට ගූගත වයර(Earth) සම්බන්ධ කර නොතිබීම හෝ සම්බන්ධය බිඳී යාම.
  3. සම්බන්ධ කරන කේබලයේ දෝෂ

මෙන්න මේ වගේ හේතු නිසා ඔයාලගේ පරිගණකයට විදුලි සැපයුමේ භූගත අග්‍රය සම්බන්ධ වෙන්නෙ නැති කම තමයි මෙහෙම කරන්ට් වදින්න හේතුව. පරිගණකයේ විදුලි සැපයුම සකසල තියෙන්නෙ භූගත  පරිපථයකදී භාවිත කරන්නයි. ඉතිං අර්ත් එක නැති වුනාම වදිනව තමයි. පුංචි දරැවෙකුට වුනත් වැරදිලා හරි මෙහෙම පාරක් වදින්න ඉඩ තියෙනව. මොකද සමහරු පරිගණකය අසලටපුංචි දරුවොත් ලංකරගන්නවනෙ.

මෙසේ පරිගණකය අර්ත් නොවීමෙන් පරිගණකයේ උපකරණ වලට හානි වෙනවද කියල කීපදෙනෙක් මගෙනුත් අහල තියේ. මටනං හිතෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියලයි. කොහොම වුනත් අපිට කරන්ට් එක වදින එක් ඒ තරං මිහිරි අත්දැකීමක් නෙමෙයි. නිතර එවැනි සිද්දී වලට ලක් වීම සරීස සවුක්කියටත් හරි මදී.

මං දැකල තියෙනව මගෙ සමහර යාලුවො, විශේෂයෙන් කොම්පුටර් ඇක්ස්පර්ට්ල පවා මේ ගැන ඒ තරං ගනන් ගන්නෙ නෑ. අපේ උන්ගෙ කොම් වලින් මට ඔය වගේ පිනා චාන්ස් කීපයක්ම වැදිල තියෙනවා. හම්මා.. මතක්වෙද්දිත් සනීපයි. :@

ඒව කොහොම උනත් මොකටද නිකං කරන්ට් වද්ද ගන්නෙ? ආයෙ පිස්සුවක් ඇතෑ නේද? :D ඒ නිසා මේකට හොඳම විසඳුම තමා සිංහලෙන්ම කියනවනං ත්‍රී පින් ප්ලග් නැත්තං ඒව එහෙම හදාගෙන ඔය අර්ත් එක එහෙම හරිගස්සගෙන පරිගණකයේ විදිලි සැපයුම හරියට සකස ගන්න එක. අඩු ගානේ සිස්ටම් යුනිට් එකේ ඇණේකට සම්බන්ධ කරපු හොඳ වයර් එකක් පොලවට හොඳින් බස්සපු යකඩ කූරක් වගේ දෙකට සෙට් කරානං ආයි.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ලෙඩේ සුවයි....

දැං ඉතිං බනින්න එපා මගුලක් ලියල කියල.  :(
______________________________________________________________
ප.ලි. :- එහෙම දාපු කූරක් හිටවල තියෙන තැන පොලව වේලිලා නිසා හරියට අර්ත් වෙන්නෙ නෑ කියල මගේ යාලුවෙක් ඒකට නියම විසඳුම් හොයන් තිබ්බා. :D උදේට උදේට එයා එතන පුංචි වැඩක් කරා..  :D

Friday, April 15, 2011

පොඩ් එකාගෙ රචනාව - අවුරුද්ද ඉවර විය

 ඉස්සර කොස්ගහේ ඉඳලා කෑ ගහන කොහා මෙදා පාර ටීවී එකෙං කෑ ගැහුවෝය. ලංකාවේ ටීම් එකේ අයියලා කුසලානේ ගේන්න බැරි උන හින්දා කොහා ඇඬුවේ දුකින් වගේය. මැච් එක පැරදුන හන්දා මේ පාර මොන අවුරුදුදැයි අයියා කීවෝය. මොකාට එපා උනත් අක්කා නංගී දෙන්නාටම අලුත් ඇඳුම් ඕනෑ කියා දෙන්නාම කෑ ගැසුවාය. ඒ නිසා අම්මා ටවුමේ පොලෙන් අක්කාට හා නංගීට ගවුම් දෙකකුත් අයයියාට හා තාත්තාට සරම් දෙකකුත් ගත්තතෝය. මට කොට කලිසමත් ටී සර්ට් එකක් ගත්තෝය. ටවුමේ පොලේ සෙනග කන්දරාවට හිරවුන නිසා මගේ හුස්ම හිරවුනෙමි. අම්මා අමාරුවෙන් පැන මාව බේරාග්තෝය. තවපොඩ්ඩෙන් ගෙදර මලගෙයක් වෙනවාය.

 පටස් පටස් ඩෝං කියා වටෙංම සද්ද ඇහුනෝය. ඒනිසා මටද රතිඥ්ඥා පෙට්ටියක් ඕනැ කියා අයියා කෑ ගැසුවාය. තාත්තා එනවිට පොලෙන් තඩි පෙට්ටියක්ම ගෙනැල්ලා අයියාට දුන්නාය. තාත්තා තව බර මල්ලක් අරන් ඇවිල්ලා ඇඳ යට හංගනවා මම දැක්කෝය. තාත්තා එහෙම හංගන්නේ අම්මාට ගෙනා අවුරුදු තෑග්ගක් කියා මට කීවෝය. පොලෙන් අම්මාට ඇදුම් ගත්තේ නැති නිසා මම සතුටු උනෝය.

 අයියාත් මමත් පහල ගෙදර ගුණයා හා සිරා එක්ක පිට්ටැන්නේ ක්‍රිකට් ගහන්නට ගියෙමි. දවලේ පන්සල පැත්තේ ගිහින් එමු කියා තාත්තාත් අම්මාත් කියුවාය. අපි පන්සල් ගියෙමි. පාට පාට අක්කලා ගොඩාරියක් අයියලා හා මාමලා එක්ක පන්සලේ තැන තැන සිටියාය. පන්සලේදීත් ඒ අක්කලා හිකි හිකි ගාන්නේ ඇයි කියා පොඩි එකෙක් නිසා මට තේරැණේ නැත. අපේ ලොකුඅක්කාට පන්සලේ හිටපු අයියා කෙනෙක් ඇහැක් ගැසුවෝය. අම්මා ඒ දැක රවපු රැවිල්ලට ඒ අයියා කොහේ ගියාද කියා මම නොදැක්කෝය.

 අවුරුද්දටම එක පාරයි නෙවැ කියා අම්මා කෑම ජාති වගයක් සාදා තිබුණෝය. ලිප පත්තු කරන්න දැංවෙලාව හරි කියලා ටීවී එකේ නැන්දා කෙනෙක් කියුවෝය. අම්මා කිරිබත් මුටිටිය ලීපේ තිබ්බෝය. අයියා රතිඤ්ඤා පත්තු කරාය. අක්කලාත් මමත් ටීවී එකේ ගිය අවුරුදු උත්සවේට සහබාගී වුනෙමි. ඉස්සර අපේ ගමේ අවුරුද්දට උස්සවයක් තිබුණෝය. ඒත් දැං ගමේ මාමලා අයියලා ගොඩාරියක් ඉන්නේ මූදෙන් එහා පැත්තේ කියා තාත්තා කිවුවෝය. එහෙම නොවුනානං අපේ ගමේද අවුරුදු උස්සවයක් බලාගන්න තිබුණාය.

එකපාරට අවුරුදු උස්සවේ පෙන්නන එක නවත්තලා ඇඩ් එකක් දැම්මාය. බාගෙට හෙලුවෙං වගේ පේන වයසක අක්කා කෙනෙක් මොනවාදෝ වැඩියෙන් උරාගන්නා ජාතියක් ගැන කියාගෙන ගියේය. මං පොඩි එකා නිසා මට ඒක නොතේරුණි. ඒ මොකක්ද කියා මං අක්කාගෙන් ඇහුවාම අක්කා මට රැවුවෝය. රතු පාට තුවායක් වගේ එකක් කරේ දාගෙන හිටි කලු තඩි මහත මාමා කෙනෙක් ටීවී එකෙං අපිට සුබ පැතුවාය. අවුරුද්ද අපේ කියා ඒ මාමා කියුවෝය. මට ගොඩාක් සතුටු හිතුනේය.

හතර වටෙං පටස් පටස් ගාද්දී අපි අවුරුදු මෙසෙට වාඩි උනෙමි. කෑමෙන් පස්සේ අපි අම්මාටත් තාත්තාටත් වැන්දෝය. බුලත් කොලයක් ගානේ තාත්තා අපිට දුන්නාය. මොකෙක්දෝ හැල ගෙම්බෙක් ඉන්නා රුපියල් දහයේ කොලයක් ඒකේ තිබුණාය. දැං මට ඒකෙන් රටකජු කන්නට පුලුවන් නිසා මට සතුටු හිතුනෝය. අවුරුදු කෑම ඉවර උන ගමන්ම අයියා කෙහේදෝ දිවුවෝය. පොඩ් එකා හෙම එක්ක යන්නෙ නෑ ඔය සූදුපොලට කියා අම්මා සැර දැම්මෝය.

අපේ ගමේ තාත්තාගේ යාලු මාමලා වගයක් අවුරුද්දට ගෙදර ආවේය. ටික වෙලාවක් කියෝ කියෝ සාලේ ඉඳපු මාමලා හැමෝම හෙමින් සැරේ තාත්තාගේ කාමරේට එබුනෝය. මමද මාමලාගේ පස්සෙන් කාමරේට ගියාම තාත්තා මාව එලෙව්වාය. ටික වෙලාවකට පස්සෙ මම හොරෙන් කාමරේට එබුනේය. අම්මාට දෙන්න ගෙනාපු තෑග්ග තාත්තා කඩලාය. ඒකේ තිබුණු තේ වතුර බෝතල් ටික අර මාමලා තාත්තා එක්ක බිවුවාය. මට අම්මා ගැන දුක හිතුනාය. ඊට පස්සේ ඔක්කෝම එකතු වෙලා සාජ්ජයක් දැම්මාය. අම්මා කුස්සියට වෙලා තරහෙන් සිටියේය. අම්මා දුකෙන් ඉන්නේ අම්මාගේ තෑග්ග මාමලා බීපු නිසායැයි පොඩි කමට මට සිතුනෙමි.

පහුවදා අපි පහල ගෙදර පොඩි නැන්දලාගෙ ගෙදරට නෑගම් ගියෝය. තාත්තාට වැඩට යාමට ඕනෑය කියා හුලංදාවේ නැන්දලාගේ ගෙදර වෙසක් එකට යමුයි තාත්තා කිවෝය. ඊට පස්සේ අවුරුද්ද ඉවර විය. අපේ ගෙදර පොඩි එකා වන මගේ අවුරුද්ද මේ වගේය. අසා සිටි ඔබ සැමට ඉස්තුතිය.

Saturday, March 19, 2011

ඊයා....... මේ මොන ජරාවක්ද...........

ඡායාරූපය:- http://everysing.files.wordpress.com 
            ඊයා......... අනේ මේ මොන ජරාවක්ද....  අනේ........... ගලවන්නකෝ...................  ඒ ගයනිගේ කට හඬ. ගයනි හයියෙන් බෙරිහන් දෙනවා. ඒ මදිවට අඬනවා. 

      ඕක අපි කාටවත් එක පාරටම තේරුම් ගන්න බැරිව අපේ එවුනුත් එක එකාගෙ මූණ බලාගත්තා. 

       ගයනි කෑ ගහන කොට ඒකිගෙ පන්තියේ කොල්ලො ටික ලාවට හූවකුත් එක්ක මහ සද්දෙට හිනාවෙනවා.  :D ඒ මදිවට කෙල්ලො ටිකත් හක හක ගගා හිනා වෙනවා. 

      පොඩ්ඩක් ලඟට ගිහිල්ල බැලුවම තමයි වැඩේ තේරුණේ. ගයනිගේ ගවුමේ ලස්සන අක්ක කෙනෙක් තමන්ගෙ  සම්පත් බාගෙට පෙන්නන පින්තූරයක් තියෙන පත්තර කොල කෑල්ලක් එල්ලෙනවා. මේකි කෑ ගහන්නෙ ඒක ගලවගන්න බැරුව.

       කොල්ලො ටික ඒකෙන් පට්ට ආතල් එකක් ගන්නවා. ආයෙ මොකද උන්ටත් නියම චාන්ස් එක. හූ කියනව හිනාවෙනව එක විකාරයයි. කොහොමටත් ගයනි කියන්නෙ මහ එක ජාතියෙ බඩ්ඩක් නිසා හුඟක් වෙලා යනකම් ඒක ගලවන්න කවුරැත් ඉදිරිපත් වුනේ නං නෑ. 

අන්තිමට ඒක ගලවන්න උදව් කරන්ක කෙල්ලෙක් දෙන්නෙක් ආවත් උන්ටත් ගලවන් බැරි වුනා. ඒක අලවල තිබුනෙ චුයිංගම් එකකින්. අන්තිමට කොහෙන්දෝ වෙන ගවුමක් ඇඳගන්න ගයනිට සිද්ද වුනා.  :D 
(පස්සෙ ආරංචි වුනේ මේක ඒකිගෙ පන්තියෙම කෙල්ලො සෙට් එකක් දීපු ගේමක් කියලා. ඔන්න කෙල්ලො)

ඔය, චුයිංගම් එහෙමත් නැත්තං බබල්ගම් ගැන මගේ පාසල් වියේදි මට ලැබුණු අත්දැකීමක්.  බබල්ගම් එහෙමත් නැත්තං චුයිංගම් ලෙස හදුන්වබ මෙම සුවිශේෂ දෙය ඔබත් අනිවාර්යවෙන්ම රස බලා ඇති.

චුයිංගම් නිපදවන්නේ latex වැනි රබර් මිශ්‍රණයක් විශේෂ රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර නියමිත තත්ව පාලනය යටතේ ඒවාට අවශ්‍ය පරිදි වර්ණක සහ රසකාරක යෙදීමෙන්. මෙසේ විවිධ සමාගම් වලින් නිපදවල පසුව විවිධ ඇසුරුම් කොට වෙළඳපලට යැවෙනවා. කුඩා දරැවන් පමණක් නොව බොහෝ තරුණ තරුණියන් මෙන්ම ඇතැම් වැඩිහිටියන් පවා මෙම චුයිංගම් වලට ඇබ්බැහි වී සිටිනවා. විවිධ රසයෙන් පාටින් මෙන්ම විවිධ හැඩයෙන් යුතු චුයිංගම් ලොව පුරා මිලදී ගැනීමට තිබෙනවා. චුයිංගම් පිලිබඳව අන්තර්ජාතික  ආයතනයක් පවා තිබෙනවා. ඩුයිංගම් ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්නකො.

ලොව මෙතෙක් අලවි වී ඇති වටිනාකමින් වැඩිම චුයිංගම් එක ඩොලර් 14000 පමණ වු අතර එම මිල එයට ලැබී තිබෙන්නෙ වෙන්දේසියකදී. චුයිංගම් හපමින් ඒවා දිවේ ආධාරයෙන් පිම්බීමක් ඇතැමුනගේ විනෝදාංශයක්. එමෙන්ම මේ සම්බන්ධ තරඟ පවා ඇතැම් රට වල පැවැත්වෙනවා. වාර්තාවල සඳහන් ආකාරයට චුයිංගම් සඳහා වසර පන්දාහාකට එහා අතී සාක්ෂි හමුවෙනවා. එමෙන්ම ඇමරිකාව ආදී රටවල් තම හමුදා වල සෙබලුන් සඳහා චුයිංගම් ලබා දෙන්නේ එය මානසික ආතතිය ආදී යුධ බිමේදි ඔවුන් මුහුනදෙන ගැටලු සදහා ‍ඉන් යම් සහනයන් ලැබෙන බව සලකන නිසයි.

කෙසේ වුවත් ශරීර සෞඛ්‍යය කෙරෙහිනම් මින් යහපතක් සිදුවන්නෙ නෑ. එයට හේතුව මේවා නිපදවීමේදී යොදාගන්නා ඇතැම් රසායන ද්‍රව්‍ය මිනිස් ශරිරයට 100%ම හිතකර ඒවා නොවිමයි. ඒමගින් ඔබේ වටිනා දත් දෙපල දිරායාමටත් ඒවා අවපැහැ ගැන්වීමටත් ලක් වෙන්න පුලුවන්. එමෙන්ම වැඩිකාලයක් එකම චුයිංගම් එක  මුව තුල රුවාගෙන හපනවිට ඛේටය සමග මේවායේ සංඝටක විසින් සාදනු ලබන විවිධ කොටස් ‍ෙඔබගේ ආහාර මාර්ගයට ඇතුලු වීමේන් ආහාර මාර්ගයේ විවිධ සංකූලතා ඇති වන්නටත් පුලුවන්. එසේම මෙම චුයිංගම් කොටස් දත් අතර රැඳිමෙන් ඔබගේ දන්ත සෞඛ්‍යයට ඔබ නොදැනුවත්වම හානි සිදු වෙන්නට පුලුවන්.

ඒ සෞඛ්‍ය ගැටලු. එමෙන්ම චුයිංගම් නිසා ඇතිවන සමාජ ගැටලුත් තිබෙනවා. චුයිංගම් කන අය මෙන්ම නොකන අයටත් මෙය මහත් ගැටලුවක්. හපා ඉවත ලන හපය මහ පාරවල් වල ඉවත දැමුවිට ඉන් අන් අයට වන්නේ මහා කරදරයක්. බස්රථ, සිනමා ශාලා, පුස්තකාල හා පන්තිකාමර ආදියේ ආසක වල සහ ඩෙස් පුටු වල ඇතැම් පිරිස් විසින් නොදැනුවත්ව හා දැනුවත්වත් මෙම හපා ඉතිරි වූ හපයන් අලවන අවස්ථා ඉතා සුලභයි. මෙයින් බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වෙනවා. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට ලොකයේ ඇතැම් රටවල් ප්‍රසිද්ධ ස්ථාන වල චුයිංගම් හැපීම පවා තහනම් කර තිබෙනවා. අනෙක් කාරනාවනම් ඇතැමුන් චුයිංගම් හපන ආකාරය පවා බලා සිටීමට අප්‍රසන්නයි. ඔබට නොතේරුණත් එවන් ක්‍රියාවන් ඔබගේ පෞර්ෂත්වයට කරන්නේ සුලුපටු බලපෑමක් නොවේ. ඔබත් ඉවක් බවක් නැතිව චුයිංගම් හපන්නෙක් නම් මේ පිලිබඳව තවත් වරක් සිතා බලන්න.

චුයිංගම් ගැන මතක් වුන පුංචි කතාවකින් මෙම ලිපිය අවසන් කරන්නම්.

චුයිංගම් ලංකාවට මුලින්ම ආපු කාලෙ දිනක් නගරබද තරුණ යුවතියක් වන ශීලා දොස්තර කෙනෙත් ගාවට ගියාලු. ටිකක් බටහිර පන්නෙට හැදුනු ශිලා නිතරම කතා කරේම සිංහල මිශ්‍ර ඉංග්‍රීසියෙන්.සෙනග වැඩි නිසා තමංගෙ වාරෙ එනතුරු මෙයාට පෝලිමේ බලා ඉන්නට වුනාලු.
 එහායින් වාඩි වෙලා හිටියෙ තරමක් ගම්බද ප්‍රදේශයකින් ආපු අම්ම කෙනෙකුයි පොඩි එකෙකුයිලු. සෙනග වැඩි තදබදේ නිසා පොඩි එකාට පොඩ්ඩක් මලලු. දන්නවනෙ ඔය පොඩිඋන්. මූ නලියන හින්දා ටික වේලාවකින් මේ පොඩි එකාව සුරතල් කරන්න පටන් ගත්ත ශිලා තමන්ගෙ බෑගයෙන් චුයිංගම් එකක් අරගෙන පොඩි එකාට දුන්නා. සතුටු සිතින් ඩුයිංගම් එක ගත් පොඩි එකා එය අම්මාට පෙන්වමින් එහෙ මෙහෙ හරවමින් සිටියා මිස එක මොකක්ද කියල දැනං හිටියේ නෑ. ගමේ අයට ඒව පුරුදු නැතුව ඇති. පොඩි එකා ලඟට ගත්තු ශිලා පොඩි එකාට චුයිංගම් එකේ කවරෙ ගලවල දුන්නලු. ඒ පාර මූ ඒක රබර් පට්ටෙ වගේ අදිනව මිසක් කන පාටක් පේනන නැති නිසා පොඩි එකාව වඩා ගත්තු ශීලා "නෝ නෝ පුතා චු.. චූ" කියා කිවුවලු. 
සෙනග අස්සේ හෙම්බත් වෙලා එපාවෙලා හිටපු ඇම්ඩන් පරම්පරාවෙ පොඩි එකා ශීලගෙ ඔඩොක්කුවෙ කරපු වැඩේ කියන්න ඕනෙ නෑනෙ. :D

Saturday, February 12, 2011

මකපු වෙබ්/බ්ලොග් පිටුවක් කියවන්නෙ කොහොමද? මෙන්න ලේසිම ක්‍රමයක්.....

මේක මහා ලොකු වැඩ කෑල්ලක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මේ ගැන දන්නෙ නැති අය කීප දෙනෙක් හරි ඇති කියල හිතුන නිසා තමයි මේ ගැන මං ලියන්න හිතුවෙ. අපි සමහර වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි අපි බ්‍රවුස් කරල යන පිටු සොයාගන්න බැරි වබ හෝ එහෙම පිටුවක් නැති බවට ලැබෙන මැසේජස්. මේක බොහෝ වෙලාවට වෙන්නෙ සර්ච් එන්ජිමක් භාවිතයෙන් යම් දෙයක් සොයල එයට ලැබුණ ප්‍රතිඵල වල තියෙන ලින්ක් ඔස්සෙ ගියාම සමහර වෙලාවට ඒවාට පිවිසෙන්න බැරි අවස්ථා කීපයක් තිබෙනවා. 
උදා:-
  • වෙබ්/ බ්ලොග් පිටුව හෝ අඩවිය මැකී ඇති විට
  • පිවිසීම අවහිර කර ඇති විට
  • වෙබ් පිටුව සහිත අඩවිය ඇති ස්ර්වරය අක්‍රීය විට හෝ කාර්ය බහුල විට
බ්ලොග් පාඨකයන්ටත් මේ වගේ අත් දැකීම් ඇති. මොකද සමහර අයගෙ බ්ලොග් වලින් පෝස්ට් මකනවනෙ. ඒ වගේම සමහරු ගෙඩි පිට්න්ම බ්ලොග් මකනව. බොහෝ වෙලාවට අපි බ්ලොග් වලදි පාව්ච්චි කරන  LinkWithin වගේ ගැජට් වල පෙන්නන සමහර පෝස්ට් වලට ගියාම ඒ පෝස්ට් මකල නම් ඒත් මේ වගේ මැසේජස් එනවා.
ඉතින් මෙන්න මේ වෙලාවට අපේ පිහිටට ඉන්න දෙයක් තමයි මං කියන්න හදන්නෙ. 
ඒ තමයි පේජ් කැෂ්. (උදා:- Google page cache)  
අපි යම් වෙබ් පිටුවක් වෙබ් අවකාශයට එක් කරල ටික දවසකදි Google වගේ සර්ච් එන්ජින් අපේ වෙබ් පිටු index කරගන්නවා. ඒ වගේම එම වෙබ් පිටු ඔවුන්ගෙ විවිධ තාක්ෂනික ක්‍රම මගින් ඔවුන්ගෙ servers වල cache කර ගන්නවා. ඒ කියන්නෙ අපේ වෙබ් අඩවි වල පිටු බැකප් කරගන්නව වගේ දෙයක් කියල හිතා ගන්නකො. 

මේ උඩ තියෙන්නෙ මෙන්න මේ ගූගල් සෙවුමෙන් ලැබුණ පුංචි කොටසක්. හොඳින් බලන්න මෙහි මම රතු පාටින් ඉරි ඇඳ තියෙනව cached කියන කොටස. මෙයින් කියවෙන්නෙ මෙම අඩවිය ගූගල් විසින් කෑෂ් කර ඇති බව. ඒ කියන්නෙ යම් විදියකින් මේ අඩවිය අක්‍රිය වුනොත් යම් තාක් කාලයක් දුරට එම කැෂ් පිටු කියවන්න පාඨකයන්ට පුලුවන් මෙන්න මේ තියන විදිහට. හැබැයි ඉතින් මෙහිදි පින්තූර, වීඩියෝ වගේ දේවල් ගැනනම් 100% වගකීමක් ගන්න බෑ. නමුත් බ්ලොග් පිටුවක් වෙබ් පිටුවක් වගේ දෙයක් කියවන්න එය බාදාවක් වෙන්නෙ නෑනෙ. මමත් ඔය අපේ සමහර බ්ලොග්කරුවන්ගෙ බ්ලොග් වල මකපු පිටු මේ විදියට කියවල තියෙනවා.  ;)

ඔබටත් මේ වගේ මකපු පිටුවක් හම්බ වුනොත් කරන්න තියෙන්නෙ ඒ පිටුවෙ ලිපිනය(Address bar) එකේ දැක්වෙන ලිපිනය කොපි කරගෙන එය ගූගල් වගේ සර්ච් එන්ජිමක සම්පුර්ණ ලිපිනයම පේස්ට් කරල සර්ච් එකක් දාන්න විතරයි. ගූගල් දෙයියො ගාව පිටුව තිබුනොත් ඔයාලට ලැබෙන සර්ච් ලිස්ට් එකේ අදාල පෝස්ට් එකේ cached කියන වචනෙ උඩ ක්ලික් කලානම් පින්තුර කෙසේ වෙතත් පිටුව නම් ගේමක් නැතුව බලාගත්ත හැකි. google, yahoo වගේ සර්ච් එන්ජින් වල මෙම විශේෂාංගය තිබෙනවා . ඒ වගේම මෙහෙම කෑෂ් වෙන්න සාමාන්‍යෙයන් පුංචි කාලයක් ගතවෙන නිසා දාල පුංචි වෙලාවකින් මකන ලද ඒවානම් මෙයින් බලාගන්න ලැබෙන්නෙ නැත. වැඩි විස්තර ඕනෙනම් මෙතනින් බලන්න.

 වැල්වටාරමක් වගේ ලිවුවෙ වැදගත් නැති දෙයක්ද මන්ද. :(
ගිහින් එන්නම්. ඔබට ජය.

Sunday, January 9, 2011

පෝස්ට් එකකින් වෙනත් URL එකකට ඉබේම Redirect වෙන්න දාන්න ඕනෙනම්....

මෙන්න ඔයාලට පොඩි වැඩ කෑල්ලක්. කාටහරි වුවමනා වුනොත් කියලයි මේ ලියන්නෙ. මොකද මටත් ඕක ඕන වෙලා මමත් මෙන්න මේ සයිට් එකෙන් මේක දැනගත්තෙ.
ඔයාල ලියන බ්ලොග් එකේ පෝස්ට් එකක ඉඳලා ඒ බ්ලොග් එකේම වෙන පෝස්ට් එකකට හරි වෙනත් බ්ලොග් එකකට, වෙනත් පෝස්ට් එකකට හෝ වෙන ඕබන URL එකකට redirect වෙන්න, ඒ කියන්නෙ ඉබේම ලෝඩ් වෙන්න දාන්න ඕනෙනම් පහල විදියට කරන්න. (හැබැයි මතක තියාගන්න මේක අදාල වෙන්නෙ Blogger භාවිතා කරන අයට විතරයි.)

මෙන්න කෝඩ්ස් ටික සහ කරන විදිය....
  1. මුලින්ම Blogger වල ඔබේ dashboard එකට යන්න ඕන. ඊට පස්සෙ Design ගිහිල්ල Edit HTML යන්න ඕන. (කෝකටත් කියල මුලින්ම ඔතන තියන Download Full Template කියන සබැඳියෙන් ඔබේ දැනට තියෙන template එක මුලින් සේව් කරගන්න එක හදිසියෙ වරදක් වුනොත් ගොඩදාගන්න උදව්වක් වෙයි.)
  2. දැන් කියන කොටස සොයාගන්න. හරියටම එම කොටසට යටින් ඔබේ අවශ්‍යතාවය අනුව පහත තියෙන කොටස්වලින් ඔබට අවශ්‍ය කෝඩ් එක කොපිකරල පේස්ටි කරගන්න.

# සම්පූර්ණ බ්ලොග් එකම Redirect වෙන්න නම්
             ***the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
          ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


# තෝරාගත්තු එක පෝස්ට් එකකින් විතරක් Redirect වෙන්න නම්
               ***your_blog_post_address කියන තැනට redirect වෙන්න ඕන මොන පෝස්ට් එකේ ලිපිනය සහ the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
            ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


තෝරාගත්තු එක පෝස්ට් එකකින් හැර අනෙක් ඒවායින් විතරක් Redirect වෙන්න නම්

               ***your_blog_post_address කියන තැනට redirect වෙන්න ඕන මොන පෝස්ට් එකේ ලිපිනය සහ the_url_where_you_want_to_go කියන තැනට ඔබට යන්න ඕන තැන ලිපිනය යොදන්න.
            ***content="3;  කියන තැන 3 වෙනුවට redirect වෙන්න ඕන තත්පර කීයකින්ද කියල දෙන්නයි ඕන. (උදා:- තත් 4කින් නම් 4 යොදන්න)


       3. දැන් Save template ගිහිල්ලා save කරගන්න.

(ඔබට වැදගත් වුණානම් ප්‍රතිචාරයක් දාලා යන්න)


මේ ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ඔබට මේගැන මොකුත් අදහසක් තියෙනවද?.... බලන්නකො මොකද හිතෙන්නෙ කියල.