Saturday, February 27, 2016

හීලෑ අලින්ට උරුම නැති සත්ත්ව කරුණාව



අපේ තියෙන සංස්කෘතික පසුබිමත් එක්ක පෙරහැරවල් ආදියට අලි ඇත්තු අවශයයි. ඒක ගැන ගැටලුවක් නෑ. අපි දන්නා අතීතයේ ඉඳන්ම දළදා කරඬුව ඇතුලු පූජනීය දේවල් වඩම්මන්නේ අලි ඇත්තු පිටේ. ඒ නිසා ඒ වෙනුවෙන් පන්සල් වලට අලි ඇත්තු අවශ්‍ය වෙන්න පුලුවන්. 

හැබැයි මේ මෑතක ඉඳන් කරඬුවට අමතරව මේ අහිංසක සත්තුන්ට සුද්දෝ සුද්දියෝ මදිවට අපේ කලුසුද්දෝත් වඩම්මන්න වෙලා. පාර අයිනෙ ඉන්න නගුටු බලු කුක්කො දැක්කම "හනී!! හරි පවු නේද" කියාගෙන තොඳෙල් වෙන නෝනලා මහත්තුරු හරි උජාරුව පාගෙන දුසිම් පිටින් මේ සත්තු පිටේ නැගගෙන අලි සෆාරි යනවා. අන්න ඒ වගේ පොල් බූරුවන්ට තමයි මඩු වල්ගෙන් තලන්න ඕනි.

හීලැ අලිඇතුන් ඉන්න පිරිස අතලොස්සක් විතරයි මේ සත්තුන්ට නිසි විදියට සලකන්නේ කියන එක ප්‍රසිද්දි රහසක්. බොහොමයක් දෙනා තමුන්ගෙ කබල් වංසෙ පෙන්නන්න අලි තියාගෙන හිටියට සතා ඉන්නවා කියල දන්නවා විතරයි. ඌ කන්නෙ බොන්නෙ කෙහොමද උගේ සරීර සෞඛ්‍ය මොන මට්ටමෙන්ද කියන එකවත් දන්නෑ. තමුන් පත්කරල ඉන්න ඇත්ගොවුවෝ ඒ සත්තුන්ට සලකන විදිය කොහොමද කියන එක දන්නෑ. 

ඉන්න ඇත්ගොවුවන්ගෙන් 80%කට වඩා ඉන්නේ අමු බේබද්දෝ. කොයි වෙලාවේ බැලුවත් බීගත්ත ගමන් ඉන්නේ. වෙරිමතේම මේ සත්තුන්ට හෙණ්ඩුවෙන් අනින හැටි මම අනන්තවත් දැකල තියෙනවා. ඒ වගේම මේ අලි ඇත්තුන් පාවිච්චි කරල එක් එක් ආකාරයට මුදල් හම්බ කරනවා. හැබැයි ඒ උපනය සල්ලි වලින් සතා වෙනුවෙන් එක රුපියල් පහක් වැය කරනවද කියල දෙයියො තමා දන්නේ. 

මට මතක විදියටනං සාමාන්‍යෙයන් වැඩුනු අලියෙක් දවසට රාත්තල් (හෝ කිලෝග්‍රෑම් ද කියල හරියටම මතකනෑ) 300ක් විතර ආහාර ගන්නවා. මේ සත්තුන්ට දවසටම එයින් දහයෙන් පංගුවක්වත් කන්න ලැබෙනවද කියල උන් විතරයි දන්නේ. ඔය කොහෙන් හරි කපාගෙන ටැට්ටරි වලින් ගෙනල්ලා බාන කිතුල් කොට ටිකකින්, අවුවට කරවෙච්ච පොල් කොල ටිකකින් මේ අහිංසක සත්තුන්ගෙ කුසගින්න නිවන්න පුලුවන්ද මෝඩ මිනිස්සුනේ?

ඇත්තෙන්ම මේන් මේ වගේ දේවල් වෙනුවෙන් යම්කිසි නියාමනයක් අවශ්‍යයි. හීලෑ අලි ඇතුන් පරපුර නියමාකාරයෙන් පවත්වගෙන යන්න සුදුසු කාලීන ක්‍රියාමාර්ගයක් හදන්න රජය මුල්විය යුතුයි. එහෙම නොවී මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න නං ලැබෙන්නෙ නැහැ.

Friday, April 11, 2014

(නමට විතරද) මහත්වරු!!!

http://galenf.com/japan/train04.jpg
දුම්රිය සේවයේ ඉන්න සමහර දෙනෙක් (හැමෝම නෙමයි) හරිම උද්දච්ච අහංකාර සහ කිසිම මානුෂිය ලක්ෂණයක් නැති උදවිය කියල තහවුරු කරන්න හොඳ උදාහරණ විදියට පෙන්නන්න පුලුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයො කිහිප දෙනෙක් අද උදෑසන සාගරිකා දුම්රියට ගොඩවුනා.ඔවුන්ගේ දඩයම් අතර පන්ති වලට හෝ උසස් අධ්‍යාපන ආයතන වල ළමයි කිහිප දෙනක් සහ අත දරුවන් වඩාගත්ත යුවලකුත් සිටියා මමත් ඇතුලුව. මම කරපු වරද වුනේ තෙවන පන්තියෙ ප්‍රවේශ පත්‍රයකින් දෙවන පන්තියෙ පාපුවරුවෙ ගමන් කිරීම.

මේ හැමෝම දුම්රියේ හොරෙන් ගිය අයනම් නෙමයි. තෙවෙනි පන්තියේ ටිකැට්පත් අතැතිව එහෙත් ඉඩකඩ මදිවීම නිසා එයට ගොඩවීමට බැරිව දෙවෙනි පන්තියෙ ගමන්කල මගීන්. ටිකැට් පරීක්ෂක උන්නැහේලා ඇවිත් හරි උජාරුවෙන් මේ අය තමන්ගේ රැහැනට අහුකරගත්තා. ඔවුන් මගේ සීසන් වාර ප්‍රවේශ පත්‍රයට අමතරව ජාතික හැඳුනුම්පතත් ඔවුන්ගේ භාරයට ගත්තා. ඒ විදියට ජාතික හැඳුනුම්පතක් රඳවාගැනීමේ බලයක් ටිකට් පරීක්ෂක වරුන්ට තියෙනවද කියල නං මන් දන්නේ නැහැ. තමන්ගේ ජාතික හැඳුනුම්පත අන්සතු කිරීමනම් වරදක් කියල මම අහල තියෙනවා. අනන්‍යතාවය තහවුරුකරගන්න මුලාශ්‍රයක් විදියට රේල්ලුවෙන් නිකුත් කරන වාරප්‍රවේශපත්‍ර බහාලනය (Folder) රේල්ලුවෙන්ම පිලිගන්නේ නැති නිසාද ඒ විදියට ජාතික හැඳුනුම් පත රඳවාගන්නේ කියන එකනං මට ගැටලුවක්. ඔවුන් දැනුම් දුන්නේ එම දුම්රියෙන්ම කොටුවේ 11 වේදිකාවට එන ලෙස. කොහොම වුවත් වැල්ලවත්තෙදි සිදුවුන විනාඩි 25ක තිහක ප්‍රමාදයත් එක්ක කොටුවට ලඟා වෙද්දි 8.30ට විතර ඇති. කොටුවේ 11 වැනි වේදිකාවෙ ඇති ගුබ්බෑයමක්ට රැගෙන ගිය මගීන්ගෙන් විවිධ ක්‍රම වලින් දඩමුදල් අය කරගන්න ඔවුන් කටයුතු කරපු විදිය නම් අනුමත කරන්න අමාරුයි. 

පුංචි මිනිස්සුන්ට රැවුම් ගෙරවුම් පාන එක මැද පන්තියේ නිලධාරින්ට හරි ලොකු වීර කමක් වගේ පේන විදියටනම්. ඒ වෙලාවේ දඩයක් ගෙවන්න අතේ මුදල් නොතිබුන නිසා පසුව ගෙවන්න හැකිදැයි ඇසුවාම නිලධාරී මහත්තයට හොඳටම තරහා ගිහිල්ලා මෙන්න මෙයාව පොලිසි ගෙනියන්න ලෑස්ති කරන්න කියලා තග් එකක් එහෙමත් දැම්මා. එතුමට ඒක හොඳට පුරුදු ඇති. ඊට පස්සේ උන්දෑ කියනවා දැන් ගෙවන්න බැරිනම් ඇපයක් විදියට ෆෝන් එක තියල යන්නලු. මනුස්සයෙක්ගෙ අතිශය පුද්ගලික දෙයක් වෙන ෆෝන් එකක් ඇපේකට තියාගන්න ඉල්ලන පහත් තත්වකට වැටෙන්න තරම් මේ මිනිස්සු රේල්ලුවට මාර ආදරෙයි වගේ. (අපි නොදන්න චෙස් කිවුවලු). කොහොම වුනත් මිනිස්සුන්ට හරියට කතාකරන්න උගන්නන්නම් එයාලට හොඳ පුහුණුවක් දෙන්න වෙයි. බහුතරයක් මහත්+වරු මෙහෙම අහුවෙන මිනිස්සුන්ට කතා කරන්නේ නිකං හරියට මිනීමැරුමකට වැරදිකාරයෙක් අල්ල ගත්ත ගානට කියලා හරියටම දැක්කෙ අද. ඔවුන් කතා කරන්නෙම උස් හඬින්. (සමහර විට පොළිස් බලතල එයාලට ඇති.)

ස්ටේසමේ එහාපැත්තේ තියෙන බැංකු ශාඛාවෙ ටෙලර් මැෂින් එක නිසා මම නම් දඩේ ගෙවලා ආවා. සල්ලි තියෙනවට නෙමෙයි. 2500/=ක් හොයන්න දවස් කීයක් මහන්සිවෙන්න ඕනිද කියල දන්නෝ දනිති. එහෙව් එකේ අර වගේ ක්ලාස් එකකට යන ළමයෙක් බය කරලා, එහෙම නැත්තං අතදරුවෙක් වඩාගෙන බැරිකමට දෙවෙනි පන්තියෙ යන අම්මෙක් බය කරලා තග් එක දාලා දඩේ සල්ලි බලෙන් ගන්න එකනම් හරිම කැතයි . ඒ කිසි කෙනෙක් පුරුද්දක් විදිහට හෝ දිනපතා කෝච්චියෙ යන එන අය නෙමෙයි. (පුරුද්දක් විදියට හොරෙන් යන අය කවදාවත් මේ මහත්වරුන්ට අහුවෙන්නෙ නැති එක තමයි පුදුමය කාරනාව) 

මොකක් වුනත් මොන වරදක් කලා වුනත් රැවුම් ගෙරවුම් පාලා කැත විදියට මිනිස්සුන්ට කතා කරන එකනං ටිකක් හරි මදි වගේ නේද? අනික තුන්වැනි පන්තියෙ ප්‍රවේශ පත්‍රයක් තියෙද්දිත් ඒ කෙනාට සාමාන්‍ය දඩ මුදලම අය කරන එකත් මොන තරම් සාධාරණද කියන එකත් සාකච්ඡාවට ලක්වෙන්න ඕන කාරණයක්. (අනික ලංකාවෙ කෝච්චි වල නං ඉතින් ඉලක්කමේ වෙනස ඇරෙන්න දෙවෙනි සහ තෙවෙනි [E class] දෙකේ වෙන මොන වෙනසක්ද කියලා උදේ හවා කෝච්චියෙ යන එන පුංචි එකෙක්ගෙන් ඇහුවත් කියයි.)

අන්තර්ජාලයේදී හෝ ඉන් පිටතදි පවා හෝ වෙන යම් විදිහකින් රේල්ලුවෙ යහපත වෙනුවෙන් සිතිවිල්ලකින් හරි රේලලුවට හොඳක් වෙන දෙයක් කරන්නයි අපි උත්සහ කරන්නේ. ඒ වගේම රේල්ලුවෙ ගැන එදිනෙදා මුනගැහෙන සාමාන්‍ය මිනිස්සු අතරේ තියෙන අයහපත් ආකල්පය ටිකක් හරි හොඳ පැත්තට හරවන්න අපි නිතරම උත්සහ කලත් මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අපි එහෙම කරන්නේ මේ වගේ අමනුස්සයන්ගේ බඩගෝස්තරේ ලබාදෙන ආයතනය වෙනුවෙන් නේද කියලා. එහෙම හිතෙද්දි හිතට එන්නෙ නං මහ කාලකණ්නි කමක්.

දුම්රිය සේවයේ ඉන්න වැඩවසම් යුගයේ නිළධාරින්ගේ හිතට යහපත් අයුරින් කටයුතු කරන්න හිතෙන, රේල්ලුවට යහපත් කාලයක් උදාවෙන දවසක් නම් පේන තෙක් මානෙකවත් නැහැ වගේ.


Saturday, July 6, 2013

රෑට නැති CTB කොස් කොටන්නද?

ඊයේ රාත්‍රියේ සේවා අවසන් වී නිවසට පැමිණිමට දුම්රියෙන් පානදුර දක්වා පැමිණ CTB නැවතුම්පල වෙත පැමිණියේ හොරණ බස්රථයක් බලාපොරොත්තුවෙනි. ඒ වන විටත් අදාල පෝලිමේ එක් බස්රථනකට සෑහෙන සෙනගක් සිටි අතර පව 8.30ට පසු බස් රථයක් ධාවනය වී තිබුනේ නැත. මා පැමිණියේ පව 9.00 ටයි. පැය බාගයක් පමණ ගතවුවද බස්රථයක් පැමිණියේ නැත. එහෙත් නැවතුම්පල භූමියයේ නවත්වා තිබූ බස් රථ දෙකතුනක් තිබූ අතර තවත් බස්රථ දෙකක් හෝ තුනක් නැවතුම්පලට පැමිණ ටික වේලාවකින් මගීන් නංවාගැනීමකින් තොරවම පිටත්ව ගියේය. 

9.30 දක්වා බලා සිටිමෙන් අනතුරුව  මා විමසීම් කවුලුව වෙත ගියේ යම් තොරතුරක් දැනගන්නා අටියෙනි. එහෙත් විමසීම් කවුලුවේ කිසිවෙකු නොසිටි අතර ඒ අසල බංකුව වාඩි විසිටි (කොන්දොස්තරවරයෙකු යැයි සිතිය හැකි) පුද්ගලයෙකුගෙන් විමසූයේ හොරණ බස්රථයක් කීයට ඒ දැයි කියාය. 10.20ට බස්රථයක් ඇති බව ඔහු කී හෙයින් දැන් 8.30 ඉඳලා බස් එකක් නෑ කියා මම පිලිවදන් දුනිමි. ගත් කටටම ඔහුගේ පිලිතුර වූයේ බස් නෑ දුවන්න කියාය. බස් රථ කිහිපයක්ම (නවතා තිබී සහ පසුව පැමිණි) ආපසු ඩිපෝ ගියා නේදැයි මා ඇසූ කල එම පුද්ගලයා මගේ ඇඟට ගොඩවීමට උත්සහ කලේ "බස් වලට එක දිගට දුවන්න බෑ"  ලෙස තරමක් සැර හඬිනි. ගැටුමක් ඇතිකර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ හෙයින් මම හැරී ආවෙමි. 

අවසානයේදී නැවතුම්පල භුමියේ ගාල්කර තිබූ බස්රථයක් පව. 10.10ට පමණ යොදවන ලදී.

බස්රථයක් යෙදවීමට හැකියාවක් තිබියදීත් හිතාමතා මගීන් අපහසුතාවයට පත් කරවන මෙවන් සිදුවීමි පානදුර ඩීපෝවෙන් මිට පෙරද කීප වතාවක් අත්විඳ ඇත්තෙමි. පුද්ගලික බස්රථ ප.ව 8.00ට පමණ පසු ධාවනය නොවන මෙම මාර්ගයේ අප වැනි ප්‍රමාද වී පැමිණෙන මගීන්ට ඇති එකම පිහිට ලංගම බස් රථ පමණි. කොටින්ම කියතොත් මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ධාවනයට නිසි කාලසටහනක් දක්නට නැත. එක් එක් දිනයට බස් ධාවනය වන්නේ එක් එක් වේලාවන් වලටය. මෙවැනි සිදුවීම් නිසා මගීන්ට වන අපහසුතාවයන් පිලිබඳ ලංගමය දරන නිහඬ පිලිවෙත ගැන මටනම් ඇත්තේ මහත් සංවේගයකි. මෙම සටහන මෙහි දැමීමෙන් පලක් නොවන බව දන්නාමුත් සැමගේ පහන් සංවේගය ඔබ සැමවෙනුවෙන් ප්‍රකාශ කරනු වෙනුවෙන් පල කරමි.

(තවද දුම්රියෙන් පානදුර පානදුර දක්වා පැමින එතැන් සිට බස් රථ වලින් ගමන් පහසුකම් සලසාගන්නා මගීන් බොහාමක් සිටින අතර දුම්රියන් පැමිණිමට ස්වල්ප මොහොතක් තබා පිටත්ව යන බස්රථ සංඛ්‍යාවද මම නිරීක්ෂණය කර ඇත්තෙමි.)

-පානදුර හොරණ මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරන සියලු මගීන් වෙනුවෙනි-

Wednesday, February 20, 2013

මෝටර් සයිකල් සවාරි 02- කළුපහන බමරකන්ද මාර්ගයේ යක්ෂයාගේ පඩිපෙල, ඔහිය හරහා බණ්ඩාරවෙල දක්වා ත්‍රාසජනක ගමනක්.

සහභාගී වු පුද්ගලයන් ගනන  - දෙකයි 
වාහන                                    - යතුරුපැදි දෙකක් 
මාර්ගය                                  - හොරණ-කළුපහන-බමරකන්ද-ඔහිය-බොරලන්ද-දියතලාව-බණ්ඩාරවෙල 
දුර                                          - කිලෝමීටර 180ක් පමණ

සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳගන්න තිබෙන ස්ථාන බොහාමයක් අතුරෙන් තවත් එක් සුන්දර මාර්ගයක් වන්නේ ඉහත සඳහන් කල කලුපහන ඔහිය මාර්ගයයි. මේ පිළිබඳව මුල්ම ඔත්තුව ලැබෙන්නෙ නඩේගුරා අඩිවයෙන්. මේ අනුව සති කිහිපයක් තිස්සේ සැලසුම් කල මේ චාරිකාවට සහභාගි වන්නට සිටි දෙදෙනක්ම විවිධ හේතු නිසා සහභාගි වුයේ නැහැ. ඒ නිසා අවසානයේ ගමනට සිටියේ සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.

බෙලිහුල්ඔය-නන්පේරියල් මාර්ගයේ ගමනින් පසුව ආපසු එන ගමනේදී නොසිතූ පරිදි ඇදහැලෙන්නට ගත් වර්ෂාව නිසා මෙම ගමන පැවතියේ අනපේක්ෂිත තත්වයක. කෙසේවවුවත් දිවා ආහාරයෙන් පසුව මමත් මගේ ගමන් සගයා වූ එරංග අයියාත් තීරණය කලේ එන ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම්ව මෙම චාරිකාවද සිදුකිරීමටයි. ඒ වනවිටද වෙලාව පස්වරු 1 පසුවී තිබිණි. 

ඒ අනුව පඹහින්නෙන් පිටත් වූ යතුරුපැදි දෙක කළුපහනදී බමරකන්ද මාර්ගය දෙසට හරවනු ලැබිණී. නිවාඩු දිනයක් බැවින් විවිධාකාර රථවාහන කිහිපයක්ම බමරකන්ද දියඇල්ල වෙත ගමන්කර ආපසු එනු අපට හමුවිය. කිලෝමීටර හතරක් පමණ ගමන්කල පසු මාර්ගයට වැටී තිබූ පස්කන්දක් නිසා මාර්ගය සම්පූර්ණ මඩවගුරක්ව පැවතියද අප දෙදෙනා කිසිදු ගැටලුවකින් එතනින් එතෙර වුවද මාගේ යතුරුපැදියටනම් හොඳ මඩ සංග්‍රහයක් භුක්ති විදීමට අවස්ථාව ලැබිණි. අවසානයේ අප බමරකන්ද දිය ඇල්ල සමීපයට පැමිණ මදක් නැවතී සිටියෙමු. මෙයින් ඉදිරියට ඇත්තේ ත්‍රාසජනක ගමනකි. යායුතු මාර්ගය පිලිබඳ දල අදහසක් නඩේගුරා හි දිනේෂ් විසින් මාහට පවසා තිබුණද පැවති කාලගුණ තත්වය හමුවේ සිතේ යම් දෙගෙඩියාවක්ද නොතිබුණා නොවේ.


බමරකන්ද දියඇල්ල අසල මදක් නැවතී සිටියෙමු.
මිනිත්තු කිහිපයකින් අප දෙදෙනා මාර්ගයේ ඉදිරි කොටස වෙත යාමේ අවදානම් ගමනට අවතීර්ණ වී සිටියෙමු. ඒ එක් අතකින් වර්ෂාව කොයි මොහොතක හෝ අපට බාධාවක් විය හැකි අවදානමත් අනෙක් අතින් කඳුකරයේදි ඉක්මනින් අඳුර වැටීම නිසා ඇති වන අවදානමත් යන කාරණා දෙක සමගිනි. මේ වනවිය හාත්පස තද මීදුමක්ද පැතිරෙමින් පැවතිණි. තව මොහොතකින් මාර්ගය තද මීදුමින් වැසී යන බැව් අප දෙදෙනාටම පසක් විය.

අප ගමන් කල තාර යෙදු මාර්ගය අවසන් වීමත් සමග කොන්ක්‍රීට් යෙදූ මාර්ගයක් හමුවූ අතර කිසිදු කරදරයකින් තොරව ටිකදුරක් ගමන් කලද කොන්ක්‍රීට් අවසන් වූයේ සීග්‍ර නැග්මක් සහිත මඩ සහිත පාරකිනි. 

පිලිවෙලට ගල් අතුරා සකස් කර ඇති මාර්ගයක් හමු විය.
හාත්පස මීදුම පැතිරෙමින් පැවතින..
තැනින් තැන මාර්ගයට වැටී තිබූ පස් සහ ගල් ගොඩවල් නිසා ගමන ඉතා අසීරු විය. යතුරුපැදි පැදවීමේ ප්‍රවීණයකු නොවූ මා එම ලෙස්සන සුළු මාර්ගයේ ඉතාපරීක්ෂාකාරීව පැදවීමට වගබලාගත්සේ සුලු අතපසුවීමකින් හෝ ලෙස්සාගියහොත් සිදුවිය හැකි අනතුර ඉවෙන්මෙන් වැටහී ගිය බැවිනි.

වැස්ස නිසා මඩ වී ඇති මාර්ගයේ යතුරු පැදියක් පැදවීම ලෙහෙසි නැත.
මෙසේ කිලෝමීටර කිහිපයක් පමණ ගමන් කල අපි බමරකන්ද දියඇල්ලේ ඉහල මට්ටමට ලඟාවූයෙමු. ඒ වනවිට පැතිරෙමින් තිබූ මීදුම තරමක් අඩුවී තිබිම නිසා දියඇල්ලේ සුන්දරත්වන පැහැදිලිව දැකබල ගැනීමට අවස්ථාව ලැබිණි. මාර්ගයේ ඉහල කොටසට පැමීනීමෙන් පමණක් ලැබිය හැකි අත්දැකීමක් විඳගැනීමට ලැබීම භාග්‍යයකි.

බමරකන්ද දිය ඇල්ල සහ අපි පසුකරගෙන පැමිණි මාර්ගය
නුපුරුදු මග දිගේ
ඉදිරි මාර්ගය බෙහෙවින්ම දුෂ්කර වන හැඩයි..
දිය ඇල්ලෙහි ඉහලම කොටස
ස්වල්ප මොහොතක් එම ස්ථානයේ රැඳි 
ස්වල්ප මොහොතක් එම ස්ථානයේ රැඳි ඡායාරූප ගත් අප ඉක්මණින් එම ස්ථානය පසුකර ඉහලට ගමන් ඇරඹිමු. අවසානයේදි අප බලාපොරොත්තු වු අතිශය අවදානම් සහිත මාර්ගය අප හමුවේ විය. එහි තිබුනේ තැනින් තැන ගල්කුට්ටි ඉහලට මතුවී ඇති අතිශයින්ම අබලන් වූ නමට පමණක් මාර්ගයක් වූ අතිශය අසීරු කඩඉමකි. එය මාර්ගයකට වඩා සමාන කල හැක්කේ අපිලිවෙලට ගල් අතුරා සකස් කල ගල් පඩිපෙලකටය.

 සමාන කල හැක්කේ අපිලිවෙලට ගල් අතුරා සකස් කල ගල් පඩිපෙලකටය
මගේ හෝ එරංග අයියාගේ යතුරු පැදි මෙවන් මාර්ගයකට කිසිසේත්ම ගැලපෙන ඒවා නොවීය. ඇත්තෙන්ම අප මෙම ගමනේදි මෙවන් මාර්ගයක් හමුවේයැයි සිහිනෙන්වත් බලාපොරොත්තු නොවීමු. (කෙසේ වුවද මෙම මාර්ග වල සැබෑ තත්වය පෙන්නුම් කරන ඡායාරෑම කිසිවක් අප සතු නොවේ. මක් නිසාදයත් එවන් අවස්ථාවන් වලදී කෙසේ හෝ මාර්ගය තරණය කරනු විනා ඡායාරෑප ගැනීමට අපට අමතක විය.)

සීග්‍රනැග්මක් සහිත වූ එහි යතුරුපැදිය පැදවීම ඉතා ප්‍රවේශමින් කලයුතු විය. මක්නිසාද යත් ෆෝ වීල් රථ පමණක් ධාවනය කල හැකි මාර්ගයක් වූ එහි වර්ශාවෙන් තෙමීගත් ගල් පතුරු මතින් ලෙස්සීමක් සිදුවුවහොත් ඇතිවන ප්‍රතිඵලය විස්තර කල නොහැකි තරම් දුක්ඛදායක එකක් විය හැකි බැවිනි. මිනිත්තු දෙකක් යද්දි එරංග අයියා එම කොටස පසුකර සිටියේය. මාර්ගයේ අඩක් දුර යද්දි එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා මා බලවත් අසීරුතාවකට පත්වුවද කෙසේ හෝ නැවත පණගන්වාගෙන මාර්ගයේ ඉහල කොටස දක්වා පැමිණියෙමි.

තව මද දුරක් ගිය විට එම මාර්ගයේ පයින් පැමිණි විදේශිකයෙකු හමු වූ අතර ඔහු සුහද කතාබහක යෙදී සිට ටික වේලාවකින් අප ඔහුගෙන් සමුගෙන ඉදිරියට ගියෙමු. අපගේ මීලඟ නැවතුම වූයේ V cut නමින් හැඳින්වෙන ස්ථානයයි. 

අපගේ මීලඟ නැවතුම වූයේ V cut නමින් හැඳින්වෙන ස්ථානයයි
එම ස්ථානයේ සිට, බමරකන්ද දිය ඇල්ලට ජලය සපයන දිය මග දක්වා කොටස අපහසුවකින් තොරව යා හැකි විය.

බමරකන්ද දිය ඇල්ලට ජලය සපයන දිය මග අසලදී
එරංග අයියා යතුරු පැදිය එගොඩට ගෙනයමින්..
එම ස්ථානයේ සිට මදක් විවේක ගනිමින් සිටියදී ෆෝවීල් ජීප් රථයක් සහ ඩිපෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයට ලඟා වූ නිසා අප ඔවුන්ට ඉඩ දී එම ප්‍රදේශ පසුකර තවත් ඉදිරියට ගියෙමු.

මාර්ගයේ ඇතැම් කොටස් මෙසේ දිස්වුවද මේවා අතිශයින්ම වල ගොඩැලි සහිතය.
නැවතත් මීදුම පැතිරෙමින්...




තේ විරාමයක්..
ගමන්කල මාර්ගය පෙර පරිදිම අබලන් එකක් වූ නිසා බොහෝ දුරක් පලමු ගියරයේ ම යාමට සිදුවු අතර ගල් ගොඩවල් උඩින් යතුරුපැදිය පැදවීම මහත් වෙහෙසකාරී බවක් ඇතිකරන ලදී. අවාසනාවන්තම තත්වය වූයේ දැඩි මීදුම නිසා අවට සුන්දරත්වය විඳ ගැනීමට නොහැකි වීමයි. 

උඩවේරිය කොටසට පැමිණියෙමු. යක්ෂයාගේ පඩිපෙල ඇරඹෙන්නේ මෙම ස්ථානයෙනි.
කෙසේ හෝ අප යක්ෂයාගේ පඩිපෙල වෙත ලඟාවීමු. එවිට වෙලාව ප.ව 4.30 පමණ වන්නට ඇත. 

යක්ෂයාගේ පඩිපෙල තරණය කරමින්..
ක්‍රමක්‍රමයෙන් පරිසරය අඳුර විසින් ගිලගැනීම ඇරඹී තිබිණි. වැසි අඳුරත් මීදුමත් එයට මනා පිටිවහලක් විය. 

මීදුම මදක් ඈත්මෑත් වෙත්ම හාත්පස පෙනීගිය සුන්දරත්වයෙන් මත්ව මොහොකත් ගත කල අප අඳුර වැටීමේ අවදානම හමුවේ වුවද අතරමගදී හමුවන සුන්දර දර්ශන ඡායාරූපගත කරමින් ක්‍රමයෙන් ඉදිරියට ගමන් කලෙමු.

සුන්දර දිය ඇලි..
කුඩා තේ කම්හලක්. මෙතැන් සිට ඔහියට දුර කිලෝමීටර දහයකි.
බැරි බරත් ඔසවාගෙන ගැමියෝ පයින්ම මේ දුර තරණය කරති.
සුන්දර දිය ඇලි..
මිහිබට සුරපුරක් සේ දිස්වෙන මාර්ගය දෙපස වටපිටාව..
සුන්දර දිය ඇලි..
දෑස් මන්මත් කරන සුන්දර වටපිටාව...
අපේ ගමන් සහයිකාවෝ දෙදෙනා..
ඒ වන විට අප දෙදෙනාම ගමනේ විඩාවෙන් අතිශයින් හෙම්බත්ව සිටියෙමු. එනිසාම තව කොපමණ දුරක් ගමන් කල යුතුදැයි මගදී හමුවූ ගැමියකුයෙන් විමසා සිටියෙමු. ඔහුට අනුව අප ඔහිය දක්වා තවත් කිලෝමීටර් 10ක් පමණ යායුතුව තිබූ අතර මාර්ගයේ දුෂ්කර කොටස තවත් කිලෝමීටර දෙකක් පමණ ගියපසු අවසන් වන බව ඇසීම අපහට මහත් සැනසිල්ලක් විය. 

රලු මාර්ගයේ ගමනේ...

ඈතින් පෙනෙන්නේ බදුලු කොළඹ මහාමාර්ගයයි.

දැන් අත්හැර දමා ඇති උඩවේරිය තේ කර්මාන්ත ශාලාව
අවසානයේ අපි ඔහු පැවසූ අයුරින්ම නැවතත් තාර යොදා ක්‍රමිකව සැකසූ මාර්ගයකට අවතීර්ණ වීමු. මෙතෙක් එක සීරුවට පැමිණි යතුරුපැදි දෙක එතැන් සිට තරමක් වේගයෙන් ධාවනය හැකි විගසින් අපගේ ගමනාන්තයට ලඟාවීමේ බලාපොරොත්තුවෙනි. 

එහෙත් අපගේ බලාපොරොත්තු සුන් වූයේ ඔහිය දුම්රිය ස්ථානට ආසන්න වත්ම හාත්පස දැඩි මීදුමත් සමග පැතිරී ගිය අඳරෙන් ගිලගත් නිසාය. ඉදිරි මාර්ගයේ අඩි 15කට 20කට වඩා වැඩි දුරක් කිසිසේත්ම නොපෙනන තත්වයක වර්ෂාවද නොපැතූ බාධකයක් විය. යායුතු මාර්ගය පවා අප දෙදෙනාම හරිහැටි දැන නොසිටි අතර අප අවසානෙයේ ඔහිය - බොරලන්ද මාර්ගයට අවතීර්ණ වුයේ ක්ෂණික තීරණයක් අනුවය. 

මීදුම මැදින් ඔහියට..
දැඩි මීදුම සහිත මාර්ගයේ විදුලිපහන් දල්වා ධාවන කිරීම උගහට විය. එබැවින් මාගේ යතුරුපැදියේ විදුලිපහන නිවා දමා එරංග අයියාට පසුපසින් යතුරුපැදිය පැදවුයේ මාර්ගය දෙස නොව ඔහුගේ යතුරුපැදියේ පසුපස රතු ලාම්පුව දෙස බලාගෙනය. හාත්පස අඳුරත් මා සමග කිසිවකු නොසිටීමත් අවට අදුරු වනාන්තරයත් සිතට ඇති කලේ මෙතෙක් අත් නොවිඳි භයංකාර අත්දැකීමකි. නෙත් මානයේ දිස්වූ එකම සජීවී වස්තුව වුයේ ඉදිරියෙන් ඇදෙන යතුරුපැදියේ රතුපැහැ ලාම්පුව පමණි. මේ භයංකාර ගමනේ අවසානය දක්වා මා සිතත් ගතත් මෙහෙයවූ නියාමක බලවේගය එයම විය. එහෙත් යතුරුපැදි පැදවීමේදී මට වඩා දක්ෂයකු වූ එරංග අයියා වඩාත් වේගයෙන් එය ඉදිරියට පැදවීය. සිදුවන්නක් සිදුවුණාවේ යන සිතිවිල්ලෙන් මා ද සිහිනයෙන් මෙන් ඔහු පසුපසින් යතුරුපැදිය මෙහෙයවූයේ වෙන කලයුත්තක් නොවූ නිසාය. (මා මෙතෙක් විඳි භයංකරම අත්දැකිම් වලින් එකක් ලෙස එය මසිතේ තැන්පත් වී ඇත.) 

කෙසේ හෝ අවසානයේ අපි කිසිදු උපද්‍රවයකින් තොරව බොරලන්ද නගරයට ලඟා වූ අතර එතැනින් දියතලාව හරහා ප.ව 7.30ට පමණ අපගේ ගමනාන්තය වන බණ්ඩාරවෙල නිවහනට ලඟාවීමු. 

ගමන අවසානයට පසු මගේ මෝටර්සයිකලය දිස්වූයේ මෙසේයි.
සටහන -

මෙම මාර්ගයේ ගමන්කිරීමට වඩාත් සුදුසුවන්නේ හොඳ තත්වයේ ඇති ෆෝවීල් රථ. ඒවායේ ටයර් සහ තිරිංග ඉතා හොඳ තත්වයේ තිබිය යුතුම අතර රථය පදවන්නා මෙවැනි දුෂ්කර මාර්ග වල ධාවනය කර හොඳ පලපුරුදු අයෙක් වීම වඩා පහසුයි. කොයිතරම් හොඳ තත්වයේ ඇති වුනත් කාර් වෑන් ආදී අනෙක් කිසිදු වාහනයකට මේ මාර්ගයේ ධාවනය කරන්න බැහැ. යතුරුපැදි වලින් පවා ගමන් කිරීම තරමක් වෙහෙසකාරී බවක් ඇතිවනවා. ඔබ යතුරුපැදිවලින් මෙම මාර්ගයේ සංචාරය කරන්නට අදහස් කරනවානම් ඔබයේ යතුරුපැදිය මේවැනි ගමනකට සුදුසු තත්වයේ පවතීදැයි සැකහැර දැනගන්න. මක් නිසාද යත් හදිසියේ ඇති විය හැකි ටයර් පන්ච් පිලිසකර කරගැනීමට තබා සිල්ලර බඩු කඩයක්වත් කිලෝමීටර් 20ක් පමණ යනතුරු හමු නොවන නිසාය.

සබැඳි :-


Friday, February 1, 2013

මෝටර් සයිකල් සවාරි 01- නන්පේරියල් මාර්ගයෙන් ලෝකාන්තයේ පාමුලට

  • සහභාගී වු පුද්ගලයන් ගනන          -  දෙකයි
  • වාහන                                       - යතුරුපැදි දෙකක්
  • මාර්ගය                                     - බෙලිහුල්ඔය-නන්පේරියල් වතුයාය මාර්ගය
  • දුර                                             -  කිලෝමීටර 10ක් පමණ (එක් පසෙකට)
සුන්දර ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය විඳගන්න තිබෙන ස්ථාන බොහොමයි. ඉන් එක් සුන්දර කලාපයක් ලෙස නන්පේරියල්  ප්‍රදේශය පෙන්වාදිය හැකියි. එසේ මෙරට සුන්දර තැන් කිහිපයකය අසිරිය විඳ ගැනීමේ අරමුණෙන් සති කිහිපයක් තිස්සේ සැලසුම් කල චාරිකා මලාවක් අතරතුරදී ක්ෂණිකව ගත් තීරණයකට අනුව අප ගමන්ගත් යතුරුපැදි මෙම මාර්ගයට හැරවෙනු ලබනවා. මෙම චාරිකා මාලාවට සහභාගි වන්නට සිටි දෙදෙනක්ම විවිධ හේතු නිසා සහභාගි වුයේ නැහැ. ඒ නිසා අවසානයේ ගමනට සිටියේ සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.

නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය
මෙම මාර්ගය ඔස්සේ ලෝකාන්තය දක්වා පවා පිවිසිය හැකියි.
එහෙත් දැනට මෙම මාර්ගයෙන් ලෝකාන්තයට යාමට අවසර නැතිලු.
බදුල්ල කොළඹ මහාමාර්ගය
සුන්දර හෝර්ටන් තැන්නට පිවිසීමට ඇති මාර්ග කිහිපය අතුරෙන් බෙලිහුල්ඔය - නන්පේරියල් මාර්ගයත් එකක්. කෙසේ වුවත් මෙම මාර්ගයෙන් ලෝකාන්තයට හෝ හෝර්ටන් තැන්නට දක්වා යාමට මේ දිනවල නීතිමය අවසරයක් නැහැ. එසේ වුවත් මෙම මාර්ගයේ සුන්දර නන්පේර්යල් ගම්මානය දක්වා යාමට කිසිදු ගැටලුවක් නැහැ. මෙම මාර්ගයේ ලංගම බස්රථයක් පවා ධාවනය කරන අතර නන්පේරියල් ගම්මානය බාහිර ලෝකය හා සම්බන්ධ කරන ප්‍රධානම නියමුවා එයයි. බස්රථය නොමැති දාට ගම්වැසියන් බෙහෝ අවස්ථාවලදී එම කිලෝමීටර් 9ම ගෙවා දමන්නේ පා ගමනින්.

නන්පේරියල් -  බලංගොඩ බස් රථය
මෙම බස්රථය බලංගොඩ ඩිපෝව සතු අතර මෙම මාර්ගයේ ධාවන කිරීම සඳහා ම
යොදවාගෙන තිබේ.
නන්පේරියල් ගම්මානය දක්වා වැටී ඇති මාර්ගය මා මෙතෙක් මෙරටදී දැක ඇති මාර්ගයන් වලින් අතිශයින්ම සුන්දර මාර්ගය ලෙස හැදීන්වීමට මා පෙලඹෙන්නේ ඇත්තෙන්ම එහි ඇති වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සුන්දරත්වය නිසයි. පහත ඇති ඡායාරූප පවා එම සුන්දරත්වයේන් 1%ක් වත් කියාපෑමට අසමත්.
නන්පේරියල් මාර්ගයේ පිවිසුම් දොරටුව.
මාර්ගයට ඔබ පිවිසෙන්නේ වාහනයකින් නම් මෙම ස්ථානයෙන්
අවසරපතක් ලබාගත යුතුයි.
මෙම මාර්ගයේ ගමන්කිරීමට ඔබට අවශ්‍යනම් ඔබ විසින් ගමන් කරන වාහනය වෙනුවෙන් අවසරපතක් ලබාගතයුතුයි. ඒ සඳහා ඔබ 50/=ක් ගෙවා ඇතුල්වීමේ ප්‍රධාන ගේට්ටුවෙන් එම අවසර පත ලබාගතයුතුයි. එම අවසරපත උපයෝගීකරගෙන ඔබට නන්පේරියල් තේ කම්හල දක්වා ගමන්කල හැකිය.

නන්පේරියල් තේ කම්හල. මෙය අයත්වන්නේ බලංගොඩ වැවිලි සමාගමටයි
 ඉන් ඔබ්බට වූ මාර්ගයේ ගමන්කල හැක්කේ අවසර ලබාගත් වාහන සඳහා පමණයි. තවද මේ අවසර පතින් ඔබට තේ කම්හල නැරඹිමටද අවසර නැහැ.

ලෝකාන්තය දක්වා පිවිසෙන මග. මෙම ගේට්ටුවෙන් ඔබ්බට
වාහනයකින් යාමට විශේෂ අවසරයක් ලබාගතයුතුයිලු.

මෙතනින් ඔබ්බට තවත් කිලෝමීටර 12ක් ගිය තැන බලංගොඩ වැවිලි සමාගම විසින් පාලනය කරන සංචාරක බංගලාවක් ඇතිබවත් ඔබට අවශ්‍ය නම් එය එක් දිනක් සඳහා 12000ක් වු මුදලකට වෙන්කරවාගත හැකි බවත් තේ කම්හල් පාලකවරයාගෙන් දැනගන්නට ලැබුණා. එසේ ලබාගන්නා ඔබට කෝකියෙක්, දර, ගෑස් සහ රාත්‍රී 12 දක්වා විදුලිය ආදී පහසුකමත් ලැබෙනවා. එම බංගලාවේ වරකට 12කුගෙන් යුත් කණ්ඩායමක් නවාතැන් ගතහැකි එකක් බවත් පවසන ලදී. ඒ අනුව ඔබට අවශ්‍යනම් සුන්දර ලෝකාන්තය සමීපයේ සුන්දර අත්දැකීමක් විඳගැනීමටත් හැකිවේවී.


මාර්ගයට වැටී ඇති පස් කන්දක්. මෙවැනි අවහිරතා මෙම මාර්ගයේ සුලභයි.
මෙවන් සුන්දරත්වයක් වෙන කොහේනම් ඇද්ද?
මග දිගේ සුන්දරත්වය.
 පහලින් පෙනෙන්නෙ නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය. ඒක තමයි ගමේ පාසල.
මග දිගේ සුන්දරත්වය.
තව කට්ටිය එනවා...
පැරණි පාලම් වල නටඹුන්. කොන්ක්‍රීට් පාලම් ඉදිවෙන්න කලින්
බස්රථය පවා ගමන් කලේ මෙවැනි කොටන් පාලම් මතින්.
මග දිගේ සුන්දරත්වය.
අසීරු වංගුවක්..
මග දිගේ සුන්දරත්වය.

ගමනේ විශ්වාසනීය සහකරු..
මෙම මාර්ගයේ ගමන් කිරිමෙන් ඔබට අතිසුන්දර ගලගම ඇල්ල, හිරිකටුඔය සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ආදී සුන්දර ස්ථාන  වලට පිවිසිය හැකියි.

පරිවාර දියඇලි
පරිවාර දියඇලි
අතිශයින්ම සුන්දර ගලගම ඇල්ල..
හිරිකටුඔය සංචාරක මධ්‍යස්ථානය පිවිසුම
පරිවාර දියඇලි
වසර හතරක් සෙවණ දුන් පින් බිම. සබරගමුව විශ්ව විද්‍යාලය.
සටහන:- 
සුන්දර ස්ථාන වලට යන්න. ඒවා දැක බලාගන්න. එහි සුන්දරත්වය විඳින්න. එහෙත් එම සුන්දරත්වය විඳිමෙන් පමණක් සෑහිමකට පත්වන්න. ඒවා විනාශ කරන්න එපා. මතකයන් සහ ඡායාරූප පමණක් රැගෙන එන්න.